නො හඳුනන තැනක්
සිත්තම් මායා | වරුණ ජයසිංහ
වාරු නැති අම්මට බේත් වේලක් දෙන්නට
කෑම පැයට තකහනියෙ දිවුවා
ගාන කීයද බං උබේ, අර
මස් කඩේ උන් දැනුත් ඇහුවා
දරු පවුල එක්කල නුබ කොටුවෙ වීදියක
මාව දැක්කම අහක බැලුවා
මං බලාගෙන මහත්තයො නුබ
ඈතටම ගිහින් කෙලත් ගැහුවා
කඩිමුඩියෙ ආවට මොකද
කිසි දේක හදිසියක් නොවුනා
හිමි නොවූ පියයුර අතගගා
මතකයි නුබ පැය මදිත් කිවුවා
මතක්වුනු සැනින් වැසි දිනෙක රෑ
නුබෙ නොවී නුබෙ උණුහුමව උන්නා
ඒ මතකෙටම ඈඳුනා නුබ
මගේ අතට සොච්චමක් දුන්නා
නුබේ අපැහැදිලි වචනෙට දෙකට
නතර වුනු හදගැස්ම ආයෙ වැටුනා
හොඳ නරක නොහිතෙන මොහොතක
මං ආයෙ ජීවිතේ ඇලුනා
මාසයක් ගියෙ නෑ මහත්තයො මං
ඒත් පොඩි උන් බඩගින්නෙ ඇඩුවා
අන්තිමට නුබ දුටු ඇඳේ ආයෙම
මගෙ ඇඟ අරගෙන ගිහින් තැබුවා
එකින් එක මගෙ ඇඳුම් නුබ ගලවද්දි
හිත කියනවට නොවන වග මටත් දැනුනා
මමම ගලවපු නුබේ යට ඇඳුමේ
තිබුණ ලොකු සිදුර මං දැක්කා
නුබම දල්වපු සිගරට් එකේ මට
අමුතු ලතැවිල්ලකුත් දැනුනා
බාගෙට පුච්ච්ච්ල විසිකරද්දිත්
අපරාදෙ හිතුනට ඉවසගෙන හිටියා
තවත් එක කස්ටමර් කෙනෙක් නුබ
එහෙම කල එක හරිද මන්දා
ඒත් ඇහැට ඇහැ ගැටුන මොහොතක
එක හාදුවක් නාදුනන හිතේ තැබුවා.
- වරුණ ජයසිංහ
Comment with Facebook