ඔහේ පල් වෙමින් හුස්ම ගනිත්
දුර ඈත පේන තරුවක්
දිහා බලාගෙන මම
හිනාවෙනව වරුවක්
ජීවිතය ඉතා කෙටි බව
ලෝකයෙන් ඈත් වූ විට
වැටහෙන්නට පටන් ගෙන ඇත
මම මගේම ලෝකයක
සිනහවෙමින් මියැදෙන කල
ඔබේ ලෝකයේ ඔබ
හිරවී තෙරපී ජීවත් වෙන්න
"උඹ හරි මෝඩයෙක්" ලෙස
මට කිව් මිනිසුන්
ජීවිතය යනු කුමක්දැයි සොයන්නට
උත්සහයක්වත් නොකර
තමන්ගේ ආත්මය සමඟ
ඔහේ පල් වෙමින් හුස්ම ගනිත්
දුම් වළාවක පැටලී මම,
පාවෙමින් ඈතින් ඈතට යමි.
නුඹ තවමත් එකම තැන.
එසේ මා ඈතට යමින් දිනෙක
මරණයද අභිබවන කල
නුඹේ ආත්මය දිරා ගොස්
තවත් ශරීරයකට ආරූඪ වෙද්දි,
මා උත්පත්තියෙන් බොහෝ ඈතය..
ඉතින් දැනට
තාවකාලිකව සැනසෙමින්
සදාකාලිකව විඳවන්න
මේ ශාපයක් නොවේ
නුඹේ ඉපදීම නුඹේ ශාපයයි !
- රැහැන් මාරා | සිත්තම් මායා
Comment with Facebook