Colette - “She Lived Unapologetically”
චිත්‍රපටියක්, තවත් චිත්‍රපටියක් නරඹන්නට පූර්විකාවක් වෙනවා, රෙකමන්ඩේෂන් එකක් වෙනවා. චිත්‍රපටි බිහිවුණු කාල වකවානු අතර කාල තරණයක් කරන්න ඒ නිසාම අපිට සුපර් පවර් ලැබෙනවා. 2014 රිලීස් වුණු The Imitation Game චිත්‍රපටිය මාව නැවැත්තුවේ 2018 දී රිලීස් වුණු ‘Wash Westmoreland’ (වොෂ් වෙස්මෝලෑන්ඩ්) අධ්‍යක්ෂණය කළ, සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු බයෝග්‍රැෆියකින්. චිත්‍රපටියේ නම, ‘Colette’ (කොලේට්). මේක බලන්න ප්‍රධානතම හේතුව, ‘කියාරා නයිට්ලි’ එහි ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කිරීම. දෙවැනි හේතුව, මේක කතුවරියකගේ චරිතාපදානයක් වීම.
කතාවේ සිනොප්සියට අනුව ‘Gabrielle Colette’ (ගැබ්රියෙල් කොලේට්) (Keira Knightley රංගනයෙන්) ඇයගේ සැමියා වුණු ‘Willy’ (විලී) (Dominic West රංගනයෙන්) වෙනුවෙන් ඔහුගේ අදෘශ්‍යමාන ලේඛකයා විදියට කටයුතු කරනවා. ඒ ඔහුගේම ගොන් වැඩ නිසා ඔහු වෙනුවෙන් ලියන්නට කෙනෙක් නැතිම තැන. වෘත්තීය මට්ටමක නොහිටියත් ඒ වෙනකොටත් ‘කොලේට්’ ලියන්නියක්. ඇය විලී වෙනුවෙන් ඇයගේ හැඟීම් ප්‍රකාශනය පිටු ගාණක ලියලයි තිබුණේ. ඒ කියන්නේ ‘කොලේට්’ ට භාෂාමය ඩිග්‍රියක් තිබුණේ නැති වුණත් හදවත් වලට දැනෙන්න ලියන්න පුළුවන් හැකියාව උපරිමෙන්ම තිබුණා. මට හිතෙන්නේ ලේඛකයෙකුට තියෙන්නම ඕනෑ කොලිටි එක ඒක. සෙටිෆිකට් කෑල්ලකට එහා ගිය හිත් අල්ලගන්න මන්තරය.
විලී කියන්නේ පෑනක් අරගෙන පොතක් නොලීව කෙනෙක් උනත් හොඳ මාකටිං වැඩ්ඩේක්, බ්‍රෑන්ඩ් එකක් හදන්න පුළුවන් පොරක්. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාවාදියෙක් කිව්වොත් වඩාත්ම නිවැරදියි. තමන්ගේ ගෑණිගෙන් හරි කමක් නෑ වැඩේ වෙනවනම්, සල්ලි ලැබෙනවානම්, සමාජයේ පිළිගැනීම ලැබෙනවා නම්. එයා තේරුම් ගන්නවා ලිංගිකත්වයට මිනිස්සුන්ගේ තියෙන කුතුහලය, ඒකම ආයුධයක් කරගෙන විලී සාර්ථකත්වය පසුපස හඹා යන විදිය, ඒ අතරේ ඔවුන් මුහුණ දෙන ගැටළු, ඔවුන්ගේ සම්බන්ධයේ හැල හැපීම්, මේ මැදට එන තෙවන පාර්ශව, හතරවන පාර්ශව, ඉවරයක් නැති පාර්ශව නිසා ‘කොලේට්’ එක තැනක නතර වෙන්න ගන්නා තීරණය.
‘Claudine’ (ක්ලෝඩීන්) කියන්නේ ‘විලී’ වෙනුවෙන් එනමින් ගෝස්ට්-රයිට් කරපු, ‘කොලේට්’ ගේ පොත, ‘විලී’ ට සාර්ථකත්වයට ඉනිමං තැනූ පොත. පොත් සීරිස් එක;
- Claudine à l'école (1900) – Claudine at School
- Claudine à Paris (1901) – Claudine in Paris
- Claudine en ménage (1902) – Claudine Married
- Claudine s'en va (1903) – Claudine and Annie
තමන්ගේ ස්වාමි පුරුෂයාට අවනත වෙන්නට, තමන්ගේ ජිවිතයම ඔහු වෙනුවෙන් පුදන්නට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පරමාදර්ශී බිරිඳක් වෙන්නට හීන මවපු කෙල්ලෙක් ‘කොලේට්’. හැබැයි ‘විලී’ කියන්නේ මමත්වය තියෙන සෙල්ෆිෂ් මනුස්සයෙක්. ඒකෙන් කියැවෙන්නේ නෑ ඔහු ඔහුගේ බිරිඳට ආදරය නෑ කියන එක. ඒ මමත්ව ගති මෙහෙමයි මෙහෙමයි කියලා චිත්‍රපටියේ කොතැනකවත් ඇඟිල්ල දික් කරලා පෙන්වන්නෙත් නෑ. හැබැයි ඒක ඉමොෂනල් බ්ලැක් මේල් එකක්. ඊළඟ ක්ලොඩින් පොත ශ්රුන්ගාරය උතුරවන්න ලිංගිකත්වයේ වෙන මානයකට ගෙනයන්න සාර්ථක පොතක් කරන්නට තමන්ගේ බිරිඳව සමලිංගික සම්බන්ධතාවයක කොටු කරන්නට පවා විලී සෙල්ලම් කළ ඉමොෂනල් ගේම් එකක්.
මේ හැමදෙයක්ම අවසානයේ ඇය ඉල්ලන්නේ, ඇගේ අනන්‍යතාවය විතරමයි.
Colette : “I want my name on the book”
Willy : “No. Willy is a brand. And any case, women writers don’t sell”
Collette : “You bastard!”
දෙබසක් උනාට ඒක වයිබ් එකක්. Gender Equality වෙනුවෙන් 19 වෙනි සියවසේ වුණු ගෘහස්ථ සටනක්. සමලිංගිකත්වයයට එහා ගිය, අන්-ඇපොලෝජෙටිකලි (unapologitecally) ජීවත් වෙන්නට ‘කොලේට්’ දරණ උත්සහයක්.
ඇය ෆීනික්ස් කිරිල්ලියක් !
අනූ පෙරේරා | සිත්තම් මායා
Comment with Facebook