සෙනසුරාදා - කාමරේ අස් කරන දවස #ShamelessJournal #Page5
අද සෙනසුරාදා, ඕපදූප කතා කරන දවස. ඊටත් වැඩිය අද කාමරේ අස් කරගන්න දවස, මුළු රටටම ඇඳිරි නීතිය තිබ්බත් නැතත්, සෙනසුරාදට කාමරේ අස් කරගන්න එක මහරාණිගේ නීතිය. ආදරේ වැඩිකමටම මං අම්මටයි තාත්තටයි තියාපු නම් දෙක. ‘මහාරාණි - රාළහාමි’. දෙමව්පියෝ දරුවන්ට නම් තියන කාලේ දෙමව්පියන්ට නම් තියපු ඩෑල් එකක් මම. එතැනින් නවතින්නේ නැතුව අලුත ඉපදුන ළමයාගේ ඉඳන් අලුත ගෙනාපු බල්ලා දක්වාම නම් දාන කෙනෙක් දැන් මම. ඔව්, අරිසෙන් අහුබුදු ගෙ දුවගේ තැන ගන්නයි මේ සුදානම.
ඒක නෙවෙයි කතාව. උදේම ඉන්ස්ටග්‍රෑම් එකට මූණ ඇද කරලා දාන්නැති ‘ගුඩ් මොර්නින්ග් මිත්‍රවරුනි ස්ටෝරි එක’ දවස හෙනම කාලකණ්නි වෙනවා, ඒක තමා දැන් මාසෙක එකහා මාරක ඇනලිටික් එක. අම්මලට තේරෙන්නෑ මේ අලුත් සෝෂල් මිඩියා ප්ලැට්ෆෝම්ස් ටික. මේවගෙන් මොළ ක්‍රියේටිව් වෙනවා, ඩෝපමීන් පිටවෙනවා, ඇඩික්ට් වෙනවා, කුරුවල් වෙනවා, ඔක්කොම. ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට කාමරේට එබුණු මහාරාණිට හිතෙන් වටිනා පැහැදිලි කිරීමක් කළේ මං මෙහෙම. ‘ඔව්, මට එච්චරයි දැන් අඩු උනේ’ කියලා අහගන්න හරි කමක් නෑ, අම්මටත් ඉන්ස්ටග්‍රෑම් එකෞන්ට් එකක් හදලා දෙන්න ඕනෑ අද හෙටම.
ඇඳෙන් බැහැලා මං බැලුවේ කොතැනද අස් කරන්න තියෙන්නේ කියලා ඇත්තටම. එහෙම තැනක් තිබ්බෙම නෑ, හිතන දේවල් වල, කියන දේවල් වල පිළිවෙලක්, අගක් මුලක් නැති උනාට මොකද, දේවල් පරිහරණය කිරීමේ ක්‍රියාපටිපාටියේ ඩිග්රියක් තියෙනවා මට. අම්මා අතින්ම පිරිනැමුන. හැදියාව අන්තිම උනාට මොකද මගේ වැඩ පිළිවෙලයි. හොර වැඩක්, ජඩ වැඩක් උනත් මට පිළිවෙලට කරන්න තියෙන්න ඕනෑ. ඒකට පොඩි කාලේ ඉඳන් අපිට මිලිටරි ට්‍රේනිං එක දුන්නේ මහරාණිය.
සිග්නල් ඇඩ් එකේ විදියටම දවසට දෙපාරක් දත් මැදීම, රෑ නින්දට යන්න කලින් යටි පතුල් වල වර්ණය නිරීක්ෂණය කිරීමට ඇයට ඉඩ දීම, උදේ නම් ලකුණු කිරීමේ තෙවන වටය ආරම්භ වීමට කලියෙන් අවදි වීම, කාමරෙන් එළියට එන හැමවෙලාවෙම ලයිට් එක ඕෆ් කිරීම, ප්ලාස්ටර් කතුරු ආයේ ෆස්ට් ඒඩ් බොක්ස් එකටම දැමීම, කාපු කෝප්ප බීපු පිඟන්, නෑ, කාපු පිඟන්, බීපු කෝප්ප තම තමන් විසින්ම සේදීම, නැතිනම් ඊළඟ දවසේ එහා වත්තෙන් අදාළ බඩු භාණ්ඩ තම තමන් අහුලාගෙන ඒම, තව මීට වැඩි මිස අඩු නැත. අවසානයේ එකම වැඩිමහල් සහෝදරයා නැවතුණේ එයාර් ෆෝර්ස් එකට ගිහින්. ඩිසිප්ලින් අස්සේ පොඩි පොඩි ඇට්ටරකම් නිසා මං තාමත් එතැන. ටිකක් මෙහාට ආවොත් මෙතැන.
‘මහාරාණි-රාළහාමි’ නම් ප්‍රසිද්ධයි. ඒත් අයියට දාපු නම අප්‍රසිද්ධයි, ‘කුමාර කාශ්‍යප’ එයාවත් තාම දන්නැති එයාට මං ආදරේට දාපු නම. අපි අපි විතරයි දැනගත්තම ඇති. එයා පෙරේරා ජෝඩුවගේ ගෝල්ඩන් සන්. හැදියාවට සහ දක්ෂතාවයට පවුලේ ආකෘතිය. කීකරුබවේ මූලාරම්බය. දැන් පියෙක්. ලඟදි ඉඳන් දෙපියෙක්. භාර්යාව එකයි, දරුවෝ දෙන්නයි. මගේ මොඩල් එකේ එකයි, පරම්පරාව ගෙනියන්න එකයි. රජයේ රස්සාවයි. ගමේ ගරුත්වයයි, දෙමාපියන්ගේ සිහින ඉටුකළ එල කොල්ලෙක්. මං….. අ…… තාම හඳුනා නොගත් ජීවී කැටගරිය නියෝජනය කරන ගමන්.
‘සුදු පුතා, මගේ යකා අවුස්සන්නේ නැතුව කාමරේ අස් කරගන්නවා’, හිතින් දුරගිය මට ආයෙම එන්න උනා මුලටම. අනික ඒ දෙවැනි ආමන්ත්‍රණය. අම්මලාගේ තුන්වැනි ආමන්ත්‍රණය දේශපාලනය වගේ. මතක් කර කර බනිනවා, හොය හොයා ගහනවා. දෙන්නගෙම සුබ සෙනසුරාදා මොකට අසුබ කරගන්නවද, ඒත් මං මේ තාම කල්පනා කරන්නේ, කොතැනද හැඩි වෙලා තියෙන්නේ කියන එක. කාමරේ මාළිගාවක් කරලා තිබ්බත් නොසන්සිඳෙන අම්මලාගේ හිත්.
‘කෝ ඔය මොබ් එකවත් දෙන්ඩ’
‘ඇයි, නෝනට ගන්න බැරිද, ඔක්කොම අතටම ඕනෙද’
හිස්තැනක්…. ලොකු හිස්තැනක්…. දැන් මේ නිහඬ බව බිඳින්න, කවුරුහරි මොනවා හරි කියන්න !
අනූ පෙරේරා | මොබ් කරන ගමන් | සිත්තම් මායා
Comment with Facebook