Boss Baby
Boss Baby වෙනුවට Bodd Baby කියලා ටයිප් වෙලා වැරදියට යවපු මැසේජ් එක අල්ලාගෙන අබයා නටපු නාඩගම මාව අවුරුදු දෙකකට තුනකට විතර ආපස්සට අරං ගියා. ඒ නිසා ෆිල්ම් එක ආයෙම ඊයේ රෑ බැලුවා. බොස් බේබි ඉස්සෙල්ලම මං බැලුවේ බත්තරමුල්ලේ ආපිකෝ සුපර් සෙන්ටර් එක ඇතුළේ. විකුණන්න තිබ්බ හැම ටීවී එකක්ම දාලා තිබ්බේ හරියට ක්‍රිකට් කාලේට අබාන්ස්, සිංගර් ටීවී එළියට් පේන විදියට ක්‍රිකට් මැච් දාලා තිබ්බ විදියටම. මමයි මගේ යාළුවයි ආපිකෝ එක ඇතුළට ගියේ එළිය රස්නේ නිසා ඒසී එකට ටිකක් කූල් වෙන්න හිතාගෙන. නිකම්ම ඉන්න බැරි නිසා ඔය එක එක ඒවා අතපත ගගා ගණන් බල බලා ඉන්නකොට තමයි, කොල්ලෙක් ඇවිත් තිබ්බ ටීවී ඔක්කොටම බොස් බේබි චිත්‍රපටිය දාලා ගියේ. යාළුවයි මමයි හොරෙන් හොරෙන් කාටූන් එක බලනවා. ‘එහ්, තමුසේ කාටූන් බලනවද ?’, ‘පිස්සුද ඕයි’ අපි දෙන්නා අතරේ දෙබස් හුවමාරුවක් යනවා. හොරෙන් හොරෙන් බලන කාටූන් එකට අපි දෙන්නගෙම හිත යනවා. ඒත් ෆිල්ම් හෝල් එකක, එහෙම නැත්තම් ගෙදරට වෙලා බලනවා වගේ නෙවේ, සෙනඟ මැද්දේ පොඩි උන්වත් ගණන් නොගන්නකොට මේ කාටූන් එක කොන්ද කෙලින් තියන් බලනවා කියන්නේ අවධානමක්. මං ඒ අවධානමට මුල පිරුවා.
‘අනේ ඕයි, මෙහ්, ඒ කාටූන් එක පට්ට
ඕයි’
‘අඩේව් තමුසේ හොරෙන් බලලා’,
‘අපි මේක බලලම යමු ඕයි’
‘අනේ ඕයි ලැජ්ජයි නේ’
‘නෑ අර බලනවකො සෙකුරුටි අංකල් දොර ගාවට වෙලා මේක තමා බලන්නේ ඕයි. ලැජ්ජා වෙන්න දෙයක් නෑ අපි මේක වන් ටූ ත්‍රි කියලා බලමු’
ඒක ලොකු ප්ලෑනක්. පහළම කොනේ ඒරියා එකක්ම අරගෙන ලොකු ෆුඩ් කොර්ට් එකක් හදලා තිබ්බා.
‘ඕයි මෙහෙම කරමු, අපි දෙන්නා ගිහින් ඩෝනට් දෙකකුයි නෙස්කැෆේ දෙකකුයි අරගෙන මෙතෙන තියෙන රෙස්ටින් ඒරියා එකේ ඉඳගෙන කන ගමන් ශේප් එකේ බලමු’ ඒ මාස්ටර් ප්ලෑන් එක මගේ.
ප්ලෑන් එක අසාර්ථකයි !! කවුරුහරි ඇවිත් ඇහුවොත් කියන්න බැකප් ප්ලෑන් එකක් අපිට තිබ්බේ නෑ. අනික ෆුඩ් කෝට් එකෙන් පිටට කෑම අරන් ගිහින් කන්නත් බෑලු. ස්ටෝල් එකේ කීපදෙනේක්ගේ නෝක්කාඩු මැද්දේ අපි දෙන්නටම චිත්‍රපටියේ අවසානයවත් බලාගන්න බැරිව එතැනින් පිටවෙන්න සිද්ධ වුණා. මොනා වුණත් කාටූන්’ කියන්නේ පොඩිකාලේ ලොකුකාලේ කියලා පංගු පේරු නැතිව බලන්න හිතෙන ඇඩික්ෂන් එකක්. අපි නැවැත්තුවේ Tim, Boss Baby ගෙ මිටීමේ ටේප් එකක් අම්මටයි තාත්තටයි පෙන්නන්න අරන් යන සීන් එකෙන්. එතැනදී වෙන ජරමර ටිකෙන්. කුතුහලයක් තියෙන කොටසකින්.
ඊයේ ආයෙමත් සැරයක් ෆිල්ම් එක බලද්දී, එදා ඒ මතකය තප්පර ගාණක සිනමැටික් අත්දැකීමක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ හැමදේම ගාණට පිළිවෙලට මගේ ඇස් ඉස්සරහා පෙළගැස්සුනා. ඉමෝෂනල් වෙන්නැති තැන් වල පවා යටි හිතේ මතකයන් මාව හරිම නපුරු විදියට ඉමොෂනල් කරලා දැම්මා.
ඕල්රයිට්, දැන් වර්ථමාන කොටස, ‘ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන්’ (DreamWorks Animation) නිෂ්පාදනය කළ (අර හඳ පලුවක් උඩ කොල්ලෙක් මාළු බාන ලෝගෝ එක), ‘මයිකල් මෙකූලර්ස්’ (Michael McCullers) තිර රචනය කළ ඇමරිකානු කාටූන් ඇනිමේෂන් ෆිල්ම් එකක් වුණු බොස් බේබි අධ්‍යක්ෂණය කළේ ’ටොම් මැක්ග්‍රාත්’ (Tom McGrath).
ටිම් ටෙම්පල්ටන් (Tim Templeton) තමයි කතාවේ නැරේටර්, පොතේ ගුරා. අවුරුදු 7ක පවුලේ එකම ළමයා වුණු ටිම්ගෙ පවුලට හදිස්සියේම මල්ලි කෙනෙක් එනවා, දන්නවනේ ගෙදර වැඩිමලා ඉද්දි පවුලට බාලයා ආවම වැඩිමලාගේ පොයින්ට් ඔෆ් වීව් එක. පවුලක වැඩිමල් කෙනෙක් දන්නවා ඒ ඉරිසියාවයි දුකයි මිශ්‍ර වුණු අමුතු හැඟීම. මම පවුලේ බාලයා. ඒ නිසා මට ඒ සම්බන්ධව ලොකු විරහවක්, දැනීමක් නෑ. ඒක ඒ විදියටම චිත්‍රපටියේ පෙන්නලා තියෙනවා. වැඩිමල් උනත් නැතත් හැමෝම ටිම්ගේ පැත්ත අරගෙන බොස් බේබිට වෛර කරන තැනෙ ඉඳන් ආදරේ කරන තැනට එනකම් කතාව අරන් යනවා. බොස් බේබි, ටෙම්පල්ටන් පවුලට එන්නේ මිෂන් එකක් සාර්ථක කරගන්න. ඒ බලු පැටව් සහ ළදරුවන් අතර ලොකු අයගෙන් ලබන ආදරය වෙනුවෙන් එපික් සටනකට මූණ දෙන්න.
බබෙක් සූට් කෙස් එකක් අරගෙන ටැක්සියකින් බැහැලා ගෙදරකට එන ෆැන්ටසි සීන්ස් ටිකක් තිවුණත්, ෆිල්ම් එකේ අනිත් හැමදේම වගේ ළමයෙක්ගේ පැත්තෙන් හරිම සාධාරණව හිතෙන රියල් ගැටළු. ටිමොති එහෙම නැත්තම් ටිම් කියන්නේ අධි ක්‍රියාකාරී පරිකල්පන මනසක් තියෙන ළමයෙක්. ඒක හැම ළමයෙකුටම පොඩි කාලේ ලැබෙන සුපර් පවර් එකක්. රියල් ලෝකෙන් මිදිලා මවාගත්තු ලෝකෙක ජිවත් වෙන එක. ‘මායා බන්ධන’ බලපු මමයි අයියයි හිතුවේ මං ‘අශ්කා’ එයා ‘සං’ කියලා. තාත්තගේ කළුපාට රේල්වේ කෝට් එකක් ඇඳගෙන මං අශ්කා වගේම අත් දෙකෙන් දෙපැත්තට ඇදලා අයියට ගිණි බෝල වලින් පහර දෙනවා. එයා කරාටි කියලා හිතෙන ඕනෙම සරඹ සංදර්ශනයක් කරලා ඒවගෙන් බේරෙනවා, ‘සං’ කැරැක්ටර් එක ඇති කියලා හිතුණම අපි ‘රොබින් හුඩ්’ කරනවා. එයා ‘රොබින්’ මං ‘ගිස්බන්’ වෙනවා. කෝටු අරන් කඩු ෆයිට් කරනවා. වෙලාවකට නයිට් රයිඩර්, කවුද බෝයි වෙනවා. කොල කැඳ වගේ පොඩි කාලේ අරහං දේවල් පවා වේද පප්පගේ අරිෂ්ටේ කියලා හිතාගෙන බොනවා. හැමදෙයක්ම දකින්න කැමති විදියට හැම පොඩි එකෙක්ම උන්ගේ මනස ඇජස්ට් කරගන්නවා. ටිමොති ටෙම්ප්ලටනුත් එහෙමමයි.
2021 මාර්තු 25 බොස් බේබි 2 එනවලු. 90 දශකයේ ඉපදුන හැම කෙනෙක්ම වාගේ තමන්ගේම කියලා බොස් බේබි කෙනෙක් දෙන්නෙක් බලනකොට මං විතරක් චිත්‍රපටිය එනකල් ඇඟිලි ගණන් කර කර ඉඳියි. ෆිල්ම් එකක් අස්සේ කැටගරියක් නැති මගේ බයිලාවකුත් කියන්න වුණු නිසා අද එක ටිකක් දිගයි. හැබැයි ඒක අවුලක් නෑ කියලත් හිතයි !!
අනූ පෙරේරා | සිත්තම් මායා
Comment with Facebook