ඒත් රාළහාමි, මං තාමත් වැඩිපුර ආදරේ මහාරාණිට ! #ShamelessJournal #Page6
තාත්තලා කියන්නේ අමුතු මිනිස්සු
ජාතියක්. කතාවට කියනවා වාගේම ඉතුරු රුපියල දෙන්නැති කොන්දොස්තරලා ජාතියක්. ආදරේ දෙන්නත්
ඕනේ, දෙන්නෙත් නෑ. ඒත් තාත්තලා දුවලගේ ආදරේ ටිකක් වෙනස්, ඒත් අපේ ගෙදර ඊටත් වෙනස්.
පොඩි කාලේදී හැම කෙල්ලෙක්ම වැඩිපුරම ආදරේ තාත්තට. හැම කොල්ලෙක්ම ආදරේ අම්මාට.
හැබැයි නෑ ගෙවල් වලදී ඉස්සරහ තියාගෙන උසාවියේ වගේ ප්‍රශ්න කරනකොටම කපටිකම් දන්න හැම
පොඩි එකෙක්ම කියන්නේ ‘දෙන්නටම’ කියලා. එහෙම නැත්තම් ඒ දෙන්නගෙම හිත් බිඳින්න බැරි වගකීම්
සහගත පොඩි උන් දෙන්නෙත් ඒ උත්තරයම. ‘being not guilty’ කියන්නේ සමහර විට මම ආත්ම ගණන් ප්‍රැක්ටිස් කරපු ගතියක් වෙන්නැති.
ඒ නිසා, ඒ නෑදෑ උසාවියේදී මං කියලා තියෙන්නේ, වැඩිපුරම ආදරේ තාත්තට බව. විහිළුවෙන්
උනත් මම දන්නේ නෑ ඒ වෙලාවේ මම අම්මගේ පපුවට ඇන්නේ මොන පිහියෙන්ද කියන එක. වචන කියන්නේ
පිහියකටත් වඩා තිවුණු ආයුධක් කියන එක ඇත්තටම මං දැනන් හිටියේ නෑ. ඒත් හැමෝටම සතුට ගෙන්න
මං කැමතිම විදිය කැප කරන උත්තරීතර පොඩි එකෙක් උනෙත් නෑ මම.
තාත්තලාගේ ආදරේ අඩු වෙන්න පටන් ගන්නේ
අපි ටික ටික ලොකුවෙනකොට. අරෙහෙ යන්නද මෙහෙ යන්නද කියලා අයියා උනත් ඇහුවේ අම්මාව තෝල්කෙට
තියාගෙන. ඒ හැම එකක්ම බලාගෙන ලොකු උනේ මම. කාලයක් ගන්නකොට ඒ ඉතිරි රුපියල මටත් දෙන
එක අඩු උනා හොරෙන්ම. අම්මගේ පපුව අස්සේ තිබුණු ආයුධය අරගෙන මං හරියටම ලොකේට් කළා ඔහුගේ
ලය මැදම. මොකද, ‘being
not guilty’ කියන්නේ හැබෑ මම. ඒත් මං අදටත් දකින
the biggest entertainer ඔහු විතරක්ම බව මං කිව යුතුමය. ‘රාළහාමි’
ඇල්ෆා මේල් කෙනෙක්. බිමල් ජයකොඩිට සමාන හැඩ හුරුව තියෙන කෙනෙක්. ඇස්වහ කටවහ විශ්වාස
කරන කෙනෙක්. එයාගේ වෙලාවල් කෙසේවෙතත් අපේ වෙලාවල් පොරොන්දම් විශ්වාස කරන කෙනෙක්. මගේ
සම්බන්ධතා දෙකකටම හිට්ලර් වුණු කෙනෙක්. ෆයිටර් කෙනෙක්, යටත් නොවෙන කෙනෙක්. ඒ හැමදේම
තියාගෙන අපි දෙන්නා අතිශය පුද්ගලිකව කරන දරුණු වලි වලදී, ‘මේ ළමයි කාගේ විදියට හැදිලද
මන්දා’ කියලා අවසානෙට අහන කෙනෙක්. රාළහාමි කිව්ව නිසා යාළුවෝ හිතුවේ ඔහු පොලීසියේ වැඩ
කරන කෙනෙක් විදියට. නෑ එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක්. රාජ්‍ය සේවකයෙක්.
හැබැයි අඩුපාඩු කන්දක් තියාගෙන, මම පොර කියාගන්න කෙනෙක්. මම ඒ යටත් විජිතයේ කාබන් කොපියක්.
අපි දෙන්නගේ තියෙන්නේ, ‘love-hate’ රිලේෂන්ශිප් එකක්. ඩෝන්ට් කෙයාර්
රිලේෂන්ශිප් එකක්. මූණ බලන්නේ නැතුව කාමර දෙකක
ඉඳන් මරාගන්න රිලේෂන්ශිප් එකක්. කොහෙන්හරි
අම්මව බයිට් එකට ගන්න ඕනෑ කියලා හිතෙන රිලේෂන්ශිප් එකක්. දවස් ගණන් මූණ නොබලන, කතා
නොකරන, ඉන්නවද මැරිලද කියලවත් අහගන්නැති රිලේෂන්ශිප් එකක්. වෙලාවකට අමාරුයි, ඒත් දැන්
මට හුරුයි පුරුදුයි. පහුගිය දවසක මං දැම්මා ඉන්ස්ටග්‍රෑම් එකට ෆොටෝ සෙට් එකක්.
රාළහාමි එක්ක කොරොන්ටයින් පීරියඩ් එකේ වවාපු නෙලාපු දෑ ගැන, එයා ගැන උජාරුවට ලොකු කැප්ෂන්
එකක්. ඒත් පහුවදා එයාගේ කකුල වීදුරු උලකට කැපුණු තුවාලය ගැනවත්, ඒකට දාපු මැහුම් පහ
ගැනවත්, වේදනාව බය කියන වචන දන්නැති මිනිහෙක් පළමු වතාවට එහි අකුරු කියවනකොට මගේ පපුවම
දැවුණු හැටිවත්, කඩියා වගේ වැඩ කරපු එයා ඇඳට වෙලා කෙඳිරි ගානකොට අම්මයි මමයි මාරුවට
ඒ කකුල අත ගාපු හැටිත් ෆොටෝ ගහලා ඔන්ලයින් සිම්පතිය නොගත් නිසා මිනිස්සු තීරණය කළා
මං සතුටේ උරුමක්කාර ජීවියෙක් ලෙසට. ඒ ඔහු මාව ට්‍රේනිං කළ විදිය. සිංහයෙක් වගේ ඇවිදපු
එයා කොර ගහනකොට මං ඒක දරාගත්තේ අමාරුවෙන්. ඉමොෂනල් වෙලා ඒක ඔයාගේ මූණට කියන්න ගට් එකක්
නැති නිසාම මං මෙහෙම අකුරු කරලා තිබ්බා, කවදාහරි මගේ යාළුවෙක් ඔයාට මේ ලියැමන
කියවයි කියන බලාපොරොත්තුවෙන්. ඉක්මනට සනීප වෙන්ඩ. නැත්තම් එහා ගම් වල මිනිස්සුත්
ඒවි. එන එක උන්ට කරදරේ, තේ හදන්න ගියාම අපිට කරදරේ.
ඒත් රාළහාමි, මං තාමත් වැඩිපුර ආදරේ
මහාරාණිට !
පොඩි එකා | අනූ පෙරේරා |
සිත්තම් මායා
Comment with Facebook