ආදරේ කියන්නේ, අපිම හදාගත්ත ෆැන්ටසියක් !
අපි ආදරය කරනකොට ඇත්තටම හරිම සංවේදයි. ඇත්තටම කෙනෙක්ට තමන්ට ආදරය කරන්න පෙම්වතෙක්/ පෙම්වතියක් හම්බ වෙනවා කියන්නේ මාරම හැඟීමක්. එච්චර කාලයක් හැල්මේ දුවපු ජීවිතයට අලුතෙන් ඇහැරෙන්න, අලුතෙන් කන්න බොන්න, අලුතෙන් වැඩක් පටන් ගන්න, අලුතෙන් හුස්ම ගන්න, අලුතෙන් හිතන්න, අලුතෙන් ලෝකය දිහා බලන්න ලොකු උත්ප්‍රේරකයක් ලැබෙනවා. කොටින්ම කිව්වොත් හරිම ඇල්මැරුණු ස්වභාවයකින් නැත්නම් අධික කාර්‍යබහුලකමකින් ගෙවපු ජීවිතයක, එතනින් එහාට සම්පූර්ණ දිශානතියම වෙනස් කරන්න 'ආදරය' කියන මැජික් එකට පුළුවන්. ආදරය අපිව ජීවත් කරවනවා කියන්නේ ඒකයි.
'ස්ලවෝයි ජිජැක්' (Slavoj Zizek) කියන්නේ කීර්තිමත් දාර්ශනිකයෙක් වගේම චින්තකයෙක්. ගෝලීය ප්‍රවීණයෙක් වගේම ගෝලීය සම්භාවනීය මහාචාර්යවරයෙක් වන ඔහු මහාද්වීපික දර්ශනය, දේශපාලන න්‍යාය, සංස්කෘතික අධ්‍යයනය, මනෝ විශ්ලේෂණය, චිත්‍රපට විචාරය, මාක්ස්වාදය, හේගල්වාදය සහ දේවධර්මය ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන් රැසක තමන්ගේ බුද්ධිමය ආධිපත්‍යය පතුරවලා තියනවා. එක තැනකදී ඔහු ආදරය සම්බන්ධයෙන් මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා.
අපි පෙම් කරනා විට අනෙකාගේ සැබෑ ස්වරූපය වටහා ගන්නේ නෑ. අපේ හිතේ තියන ෆැන්ටසි චරිතයට අනෙකාව ආදේශ කරනවා
ආදරය සම්බන්ධතාවයකට පරිවර්තනය කරගෙන පවත්වාගෙන යන්න උත්සහ කරද්දී තමයි ඇත්තටම ගැටලුව පටන් ගන්නේ. එච්චරට ම ආදරණීය වගේම අතිශය සතුටක් උපදවන හැඟීමකදී වුණත් මඟකදී දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නේ කොහොමද කියලා ඔබ ටිකක් හරි බුද්ධිමය ප්‍රවේශයකින් හිතලා තියනවාද? ගැටලුව උපදින්නේ ම මේ 'සැබෑ ස්වරූපය' කියන කාරණාව අරගත්තාමයි. ඒ කියන්නේ අපි ආස විදිහට ම අනෙකා අපි එක්ක හැමදාම ඉඳියි කියලා අපි හිතන් ඉන්නවා. ඒ හැඟීම් හරිම ස්වාභාවිකයි. ඕනෙම ළතෙත් හදවතක් සහිත මනුස්සයෙක් ඇතුළේ මේ වගේ හැඟීම් ඇති වෙන එක නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. සමහර අය කියන්නේ ඒක තනිකරම මිනිස්සුන්ගේ මනස තුළ මවා ගත්ත ෆැන්ටසියක් කියලයි. ඇත්තනේ. අපි හැමෝම අනෙකාව කියවගන්නේ, දකින්නේ, හිතන්නේ අපි හිතින් හදාගත්ත අපේම ක්‍රමයකින්. අපි ආසම විදිහට. හැබැයි හිතන්න ඕනේ ඊළඟ කාරණය තමයි, එහෙම වුණාම අපි ඇත්තටම ආදරය කරන්නේ අනෙකාගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගෙන නෙමෙයි. අපි විසින් එයා මෙහෙමයි කියලා අපිම හදාගත්ත අපේම ෆැන්ටසි එකකින්.
ආදරය කරනවා කියලා හිතන් ඕනෑම ආදරයක් පටන් ගන්නකොට කොල්ලාට හිතෙනවා මේ කෙල්ල නම් පට්ට, ලස්සන, හුරුබුහුටි, ආසම ගති ගුණ තියන සුරංගනාවියක් කියලා. අනිත් පැත්තෙන් කෙල්ලට හිතෙනවා මේ කොල්ලා නම් තමන්ගේ පුංචි කාලයේ ඉඳන් ආස කරපු සිහින කුමාරයා, එහෙමත් නැත්නම් මැජික්කාරයෙක් කියලා. කොටින්ම පිරිමි පාර්ශවය අවිඥ්ඥානිකව ම කැමති තමන්ගේ අම්මා වගේ ස්ත්‍රියකට. අනික් අතට ස්‍ත්‍රී පාර්ශවය අවිඥ්ඥානිකව ම කැමති තමන්ගේ තාත්තා වගේ පිරිමියෙක්ට. ඉතින් ආදරය කරන්න හම්බ වෙන මනුස්සයාව පිළිගන්නේ ම ඒ මනුස්සයාගේ සත්‍ය ස්වරූපයෙන් නෙමෙයි තමන් කැමති ස්වරූපයෙන්. කාලයක් යද්දී ප්‍රායෝගික ජීවිතයේ ප්‍රශ්නත් එක්ක දෙන්නටම අවබෝධ වෙන්න පටන් ගන්නවා තමන් එක්ක ඉන්නේ සුරංගනාවියක් වත්, මැජික්කාරයෙක් වත් නෙමෙයි කියලා. ඊට පස්සේ දෙන්නම මුහුණ දෙන අනපේක්ෂිත වේදනාකාරී නොගැළපීම් කියන්නේ ම ඒ අළුත් සත්‍යයට මුහුණදීමේ නොනිමෙන අරගලයයි.
ඒ නිසාම සමහර වෙලාවට හිතෙනවා ආදරයේ හොඳම කාලයේදී ඒකෙන් ඉවත් වෙන එක තමයි ආදරය පවත්වාගැනීමේ හොඳම ක්‍රමය කියලා. ඒකෙන් කියන්නේ නෑ සම්බන්ධතාවය දමලා ගහලා යන්න ඕනේ කියලා. මෙහෙමයි, අපි කෙනෙක්ට ආදරේ කරනකොට අපි අනෙකා එක්ක ඉන්නේ සෑහෙන සමීප රූපයක. ඒ සමීප බව එක්ක අපිට එයාගේ සම්පූර්ණ චිත්‍රයම පෙන්නේ නැ. සමහරවිට ආදරේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඇවිත් එයාව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් හරි. නැත්තම් මම කීව දේ වලංගු වෙන්නේ නෑ. ඒත් ඔබ ඉන්නේ අසීමීත ආදරයක හිරකාරයෙක් වෙලා නම් ඒ කිව්ව දේ කරන්න බෑ. නමුත් මේ කාරණය විමර්ශනයට භාජනය කරන තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් ආදරේ විනාශ නොවී ආදරේ, ආදරේ විදිහට සුරැකෙන විදියකට.
ආදරේ ගැන තියෙන සාහිත්‍යයන්, ඉතිහාසයන්, කලා කෘතීන් දිහා බැලුවාම හොඳම විදිහට ආදරේ ඉතිරි වුණේ, එහෙම අහඹු විදිහට නිමා වුණ කතා ඇතුලේ. නැතිව ආදරේ කරන දෙන්නා ඒවා ප්ලෑන් කරලා කරා නෙවෙයි. මේක ගැන ‘ලියුම්කාරිණිය’ ෆේස්බුක් සමාජ මාධ්‍යයේදී කරපු සංවාදයකදී සහෘදයන් දෙදෙනෙක් හරි අපූරු අදහස් දැක්වීමක් කළා. ඒ මෙහෙමයි,
"ආදරේ හොඳම කාලේ අයින් වෙන්න ඕනේ බන් බල්ලට පොල්ලෙන් කෙලියා වගේ. බලනවකෝ ඔය රෝමීයෝ ජුලියට්, සාලිය අසෝක මාලා, දස්කොන් ප්‍රමිලා, ජැක් රෝස් කියන ඔය එකෙක්වත් බැන්දේ නෑනේ..."
"අන්නේකයි... බැරිවෙලාවත් එකතු උනානම් ඕකුන් ඔක්කොම කොමඩි වෙනවා. ටයිටැනික් නැව අයිස් පරයක නොවැදුනා නම් ජැක් දැන් ශෙඩ් එකක තෙල් ගහලා හවසට කොහෙහරි කැෂියර් වැඩකුත් කරනවා. ගෙදර ගියාම, "ඔයාට මගේ ගැන හොයන්න බලන්නවත් වෙලාවක් නෑ.. මං ගත්තේ වැරදි තීරණයක්" කියලා රෝස්ගෙන් බැනුම් අහගන්නත් වෙනවා. මේ වෙද්දි ගොඩක් වෙලාවට උන් දෙන්නගේ දෙවනි කසාද වෙන්නත් පුළුවන් "
ඉතින්, මෙතනින් එහාට මේ කාරණය ගැන සිතීම සහ සාකච්ඡාව ලිපිය කියවන සිත්තම් මායා පාඨක ඔබට අපි භාර කරනවා. අපි කතා කරමු. අහ්... අන්තිමට තව දෙයක් කියන්න ඕනේ.
ආදරේ දී අනිකා ගැන තියෙන මතුපිට උත්කර්ශය ඉවර වෙන තැනදි, අනෙකා කවුද කියලා පේන තැනදි කොටින්ම එයාව අපිට අප්පිරිය හිතෙන තැන් වලදි එහෙම වෙලත්, තව දුරටත් එතනින් එහාට මොකක් හරි හැඟීමක් ඔබ තුළ ඉතුරු වෙලා අඛණ්ඩව අනෙකාට ආදරේ කරන්න පුළුවන් නම් ඒක තමයි "සැබෑ ආදරේ" කියන්නේ කියලා ජිජැක් හරිම ලස්සනට කියලා තියෙනවා.
තිනෙති නානායක්කාර | සිත්තම් මායා
Comment with Facebook