පිරිමි ලංසුවක් - 01 කොටස
බිම් කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි, බැහැගෙන යන ඉර එලියේ රිදී පාටින් මුළු බෝධියම නැහැවිලා. ‘ආදරණීය ගැටඹ’, පින්බර පුද බිම ඔහුගේ හිත නිවා දැමුවා. බොහොම සන්සුන් වූ මනසින් ‘සිතුම් විජේබණ්ඩාර’ තෙල් මල් හඳුන්කූරු සුවඳත් එක්ක එන හීන් හීතල සුළං රැල්ලට, ගිනියම් වෙලා හෙම්බත් වෙච්චි හිතත් ගතත් වෙලා ගන්න ඉඩ දුන්නා. ඔහුගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්.
හුළං සැරට බෝ කොල ස්පර්ශ වෙලා එකින් එක ගැටෙද්දී, ඒ ඇහෙන ස්වර රටා සිතුම් විජේබණ්ඩාරගේ පපුව තව තවත් සැනසීමට ලං කළා. මෙච්චර වෙලා ඔළුවේ පොදි ගහගෙන ගැටී ගැටී තිබුණු බොහෝ වේදනා මොහොතකට අමතකව ගියා වගෙ ඔහුට දැනෙන්න ගත්තා. ඒ දැහැනෙන් මිදෙන්නට තිබුණු ලෝබකම නිසා ඔහු තව තවත් තදින් ඇස් පියාගත්තා. බෝ කොළත් රටාවකට ඔහුගේ නළලත සිප ගන්නට මෙන් පහත් වී පවන් සැලුවා. ඒ උත්තරීතර වූ නිරාමිස සුවය, ඔහුගෙ හිත සුවපත් කළේ බොහෝ කාලයකට පසුවයි.
‘සිතුම් විජේබණ්ඩාර….’, මේ පින්බර ගැටඹේ පුද බිම ඔහුට නුපුරුදු තැනක් නොවුනත් වසර ගණනාවකට පසු මේ පුදබිමට ඔහු පා එසවූයේ හරි ආදරණීය මතක ගොඩක් පිරුණු අතීතයක් තමන්ගේ හිස මත තියාගෙන. ඒ මතකය සිතුම්ව වසර ගාණක් ඈතට අරන් ගියා.
__________________________
ජීවිතය,
මලකඩ කාපු ඇණයක්
ඒක මගෙ ආත්මයට තියලා
හැමෝම තද කරද්දී
රිදුනේ මේ සමාජයට නොව
මගේ තාරුණ්‍යට
කියන්නේ කාටද මන්
රන්කිරි නොබීපු පවට
මලකඩ කට ගෑවේ
උරුම නොවුණු හීන ගොඩක
හිත අතරමන් උන නිසා කියලා
කතාවක් තියෙද්දි රූලෙන් රූලට
වෙන් කරන්න බැරි වෙච්ච
තිතක් නොමැති කතාවක්
කියලා කියන්නේ කොහොමද මන්
මගෙම කියාගත්ත
ආත්මෙත් මට හීලා නැති කොට
- සිතුම් විජේබණ්ඩාර -
__________________________
අමා සිල්වා | සිත්තම් මායා
Comment with Facebook