පිරිමි ලංසුවක් - 02 කොටස
"රන් මහත්තයා"
ඒ සිතුම්ගේ අත්තම්මා
තෙල් මල් හදුන්කූරු ටික කූඩෙට දා ගත්ත අත්තම්මා එළියට බහින්න කලින් පුංචි සිතුම්ට කතා කරා. සිතුම් ගමේ හැමෝටම ‘රන් මහත්තයා’ උනෙ අත්තම්මා සිතුම්ට කතා කරපු විදිය නිසා.
"විජහට වරෙන් මෙහාට"
"මං එනකන් මාලි නැන්දට කරදර නොකර ඉන්ට ඕනෑ, තේරුණාද උබට"
"හා අත්තම්මා"
මාලි නැන්දා කිව්වේ සිතුම්ගෙ මාමා, ඒ කිව්වේ සිතුම්ගේ තාත්තගෙ මල්ලි වුණ සේනක මෑතකදි ගෙදරට කැන්දන් ආපු මනමාලි.
අලුත් පිට හරි ආදරෙන් සලකගෙන හීමිච්ච් වගේ හිටියට මොකද පහු වෙන්න වෙන්න පොඩි එකාට කළෙම අරියාදුකම්. අත්තම්මා ඒවා දැනගෙනත් වචනයක්වත් නොකිය හිටියේ පොඩි එකාට යන එනමක් නැති වෙයි කියන බයෙන්.
කොල්ලට එතකොට හරියටම අවුරුදු නමයයි.
"උබව පන්සලට එක්කන් ගියොත් මගෙ සීලෙත් කඩන් තමයි මට එන්ට වෙන්නේ"
"මතකනේ ගිය පෝයට උබ දාපු සෙල්ලම් පන්සලේ"
ගිය පෝයට සිල් ගන්න ආව ළමයෙක්ට කොල්ලා බිම දාගෙන ගැහුවේ වෙන දේකට නෙමේ ‘අම්මා තාත්තා නැති එකා’ කියලා පන්සලේ සෙනඟ ඉස්සරහා කරපු ඔච්චමට.
මහා ගෙදර වරිච්චි බිත්තියට වාරු දීලා දකුණු කකුලේ මහපොට ඇඟිල්ලෙන් පොලොව හාර හාර බිම බලන් හිටිය පොඩි එකා දිහා බලපු අත්තම්මගෙ පපුව පිච්චිලා ගියා.
"කෝ ලඟට වරෙන් මේ තෙල් ටික ඔළුවට ගාන්ට"
අත්තම්මා අතට ගත්ත කූඩය පැත්තකින් තියලා ඒකෙ තිබ්බ පොල් තෙල් බෝතලෙන් තෙල් ටිකක් අතට අරන් පුංචි සිතුම් කොල්ලගෙ ඔළුව හොඳට තෙමලා අත ගෑවේ හරි ආදරෙන්.
"පරිස්සමින් ඉඳහන් මගෙ කොල්ලෝ"
"මන් ගොහින් එන්නං"
"හොඳ එකා වගේ මං එද්දි මල් ටිකක් කඩලා තියහන් හවසට පහන තියන්ට"
"හා අත්තම්මා මං කඩලා තියන්නම්"
අත්තම්මා ගියාට පස්සේ සිතුම් හිමීට කුස්සිය පැත්තෙන් පිලිකන්නට ආවා. මේ වෙලාවේ ගෙදර අනිත් අය තාමත් නිදි. ඉරටු ටිකක් හූරලා සරුංගලයක් හදන්න හිතන් හිටියේ. දැන් ඉතින් නිදහසේ වැඩේට බහින්න පුලුවන්. කොල්ලගෙ මූණේ හරි ලස්සන හිනාවක් මතු වුණා.
සුද්දත් එක්ක ඉහල වෙල උඩ සරුංගල් යවන්න දවස් ගාණක ඉඳන් හීන දැක දැක හිටිය පොඩි එකා, හරි හදිස්සියට ඉරටු ටික රහින්න ගත්තා. සුද්දා, අත්තම්මා ලඟට ආව දවසේ ඉඳන් සිතුම් කොල්ලට හිටපු ගමේ හොඳම යාළුවා දෙන්නම ඉතින් එක වල්ලේ පොල් වගේ තමා, පුන්චිකමට හිටියට දෙන්නටම තිබුණේ එකම හිතුවක්කාර හීන.
සිතුම්ව අත්තම්මා ලඟට ගේනකොට හරියටම අවුරුදු දෙකක් වුණා විතරයි. සිතුම්ගේ අම්මා තමයි මේ ගමනට මුල් අඩිතාලම දැම්මේ. ළමයි හත්දෙනෙක් හිටපු පවුලෙන් සිතුම්ව අත්තම්මා ලඟට පිටමන් කරන්න තරම් හේතුව මොකක් නමුත් ඒක කවදාවත් පොඩි එකා අහන්න ගියේ නැහැ.
අවුරුදු දෙකේ ඉඳන් අත්තම්මා පුලුවන් විදියට පොඩි එකාව රැක්කා. සෙල්ලම් බඩු අරන් එන්නම්කෝ පුතේ කියලා යන්න ගිය තාත්තා මතක් කරලා, තාත්.. තාත්… කියලා ඉඳලා හිටලා අඬපු එක ඇරෙන්න කොල්ලට ලොකු මතකයක් ඒ පවුලත් එක්ක තිබුන් නැහැ.
අවුරුද්දට දෙපාරක් විතර පොඩි එකාගෙ තාත්තා ගෙදරට අඩිය තියලා ගියා මිසක් අත්තම්මට තරම් කොල්ලා ගැන කැක්කුමක් ඇති වෙන එකෙක් මේ පවුලේ හිටියේ නැහැ. අත්තම්මගෙ පරණ පෙට්ටගම අවුස්සලා හොයා ගත්ත නූල් කැරලි එහෙ මෙහෙ කරලා සරුංගල් සැකිල්ල අමාරුවෙන් ගැට ගහා ගත්තා කියමුකෝ. කෝ දැන් මේකට සවුකොල, කොල්ලගෙ ඔළුව කල්පනාවෙන් බර වුණා.
හිමින් සැරේ කුස්සියට රිංගපු සිතුම් කොලුවට මාලි නැන්දා හදිස්සියට සල්ලි හංගන මැටි මුට්ටිය මතක් වුණා. කට්ටිය දැන්ම නැඟිටින පාටක් පේන්න නැති නිසා කොලුවා හිතුවේ මුට්ටියට අත දාලා කීයක් හරි ගන්න. හෙමින් හෙමින් බිම තිබ්බ බංකුවට නැග ගෙන කළු ගැහිච්ච පෝරණුව කොනේම තියෙන මුට්ටියට අත දාල මුට්ටිය අනිත් අතට වාරු කර ගන්න හදද්දිම වගේ කොල්ලගෙ එක කකුලක් ලිස්සල බංකුවත් එක්කම පැත්තට විසි වුණා. මාරු කාසි ටිකයි, මුට්ටියේ වලන් කටු ටිකයි දිහා බලන් කොල්ලට හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
පොඩි එකා හොඳටම බය වෙලා ඒකගේ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා. මාමා නම් අද ගෙදර නැහැ. ඒත් මාලි නැන්දා….
(ලබන සතියට)
________________________________
අමා සිල්වා | සිත්තම් මායා
Comment with Facebook