පිරිමි ලංසුවක් - 03 කොටස
“අහ් යකෝ”
“මොකක්ද ඒ සද්දෙ ?”
මාලි නැගිට්ටේ බෙරිහන් දීගෙනම.
“මොකද කරේ ?”
“උඹ ඒ පාර සල්ලිත් හොරා කන්න ගත්තද ?”
“කතා කරනවා ?”
බිම සී සී කඩ වැටිලා තිබ්බ සිල්ලර කාසි ටික දිහා බලාන ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන ගෑනි පොඩි එකාගෙන් ඇහුවා.
මෙහෙ වරෙන් ලඟ තිබ්බ හනස්සක් අතට ගත්ත මාලි පොඩි එකාට නොසෑහෙන්න තඩි බෑවා.
“ඌයි”
“අනේ නැන්දේ”
“රිදෙනවා එපා”
“මං ගන්නෑ ආයෙ ගන්නෑ”
කොල්ලා කෑ ගගා අඬනවා.
මාලි හිතේ තරහා පිරිමැහෙනකල්ම හනසු පාරවල් වලින් පොඩි එකාට පහර දුන්නේ මාරදූතිකාවක් ආවේශ වෙලා වගේ.
කොල්ලා අඬාගෙන දිව්වේ වත්ත පහල ලිඳ ලඟට. පැය ගාණක් ඉකි ගගහා එතනට වෙලා ඉඳගෙන හිටියා.
අත්තම්මා හවස ගෙදර එනතෙක්ම කොල්ලා හිටියේ කිලුටුවට. ඒ වෙනකනුත් ඇඟක් පතක් හෝදන්නැතුව හිටිය සිතුම්ව බලෙන් ඇදගෙන ගිහින් නාවද්දි තමයි ඉදිමිලා ඉස්සිලා තිබ්බ හනසු පාරවල් වල පැල්ලම් ටික අත්තම්මා දැක්කේ.
අත්තම්මා මේ දේවල් දරා ගත්තේ හරිම කේන්තියෙන්.
“උන්ට දරුවෝ හිටින්නැත්තේ මේ අහිංසකයට කරන අරියාදුකම්වලට”
“කාලකණ්නි කවදා මේ පව් ගෙවන්නද මුන්”
මේ හැමදේම ඉවසගෙන, අත්තම්මා ඇස් දෙකේ කඳුළු පුරවන් තනියම බනිනවා.
_____________________________
සිතුම්ගේ අත්තම්මට ගමේ කුඹුරු තිබුණා. ඒවා උන්දැගෙ පොඩි පුතා සේනකගේ නමට තමයි ලියලා තිබුණේ. ඒ ඒවායින් ලැබෙන ආදායමෙන් පංගුවක් අත්තම්මාටද ලැබුණු නිසා කොලුවාගේ වියදම් වැඩි හරියක් පියෙවුවේ උන්දැම තමයි.
අවුරුදු නමයක් වුණු පුංචි සිතුම්ට අත්තම්මගේ ආදරේ මහ මෙරක් වගෙ. ලඟට ලං කරගෙන බත් කටක් හරි පොඩි එකාට කැව්වේ අත්තම්මා විතරයි. අම්මගෙ රන්කිරි සුවඳ කටින් යන්නත් කලින් අත්තම්මා ලඟට තල්ලු වුණු හේතුව හොයන්න තරම් පොඩි එකාට තේරුමක් තිබුණෙත් නෑ.
ඉගෙන ගන්න ලොකු උනන්දුවක් නැති වුණාට සිතුම් හැමදාම පන්තියේ දහවෙනියට මෙහා හිටියා.
____________________________
වාර විභාග ප්‍රතිඵල ලේඛනය අතට ගත්තු අත්තම්මා හිටියේ හරි සතුටින්.
“රන් පුතේ උඹ දක්ෂයා. උඹ ඔය ටිකක් දඟලලා හිටියට දවසක උඹ හොඳ තැනකට එනවා”
“උඹ මහත්තයෙක් වෙනකොට මගෙ ඇස් පියවිලා ඉවරයි මගෙ එකෝ”
අන්තිම ටික කියද්දි අත්තම්මගේ ඇස් කඳුලින් තෙත් වෙලා.
“අත්තම්මා බොරුවට අඬනවා” කොල්ලා හිනා වුණා.
“රන් මහත්තයා” සුද්දා වැට ලඟ ඉඳන් කෑ ගහනවා.
“අන්න උඹේ සගයා ඇවිත්”
“ගොම්මන් වෙන්ට කලියෙන් ගෙදර වරෙන් දාන සෙල්ලොමක් දාලා”
අත්තම්මා හිනා වෙලා කිව්වේ කොටල ඉවර වෙච්ච විට කෑල්ලත් කටේ දාන් හරි අමාරුවෙන් බුලත් හෙප්පුවත් අරන් නැඟිටින ගමන්.
_____________________________
කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා.
සිතුම් අත්තම්මා ගාවට ඇවිත් හරියටම අවුරුදු දහයක් වුණා විතරයි. දැන් කොල්ලට අවුරුදු දොළහයි.
ඒ දවස මහා මූසල දවසක් සිතුම්ගෙ පුංචි හිත කියන්න බැරි භීතියකින් වෙලිලා තිබුණා. මහා රෑ බළල් තඩියෝ කෙඳිරි ගානකොට අත්තම්මා නැඟිටිනවා පොඩි එකා කන්දීගෙන හිටියේ.
“චිප් … චිප්….”
“යමල්ලා... යමල්ලා”
“එහාට එහාට..”
අත්තම්මා පූසෝ ටික එළවන්න ගත්තා.
“ගේ ඉස්සරහම අඬන්න ගත්තා මොන මුස්පේන්තු කමක්ද මන්දා”
අත්තම්මා තනියම කියව කියව පැදුරේ ඇවිත් වැතිරෙනවා සිතුම් බලාගෙන හිටියා. සුද්දගෙ ගෙදර අම්මා තාත්තා අක්කා සුද්දට ආදරේ කරන හැටි දැක්කම සිතුම්ට මතක් උනේ අත්තම්මා විතරයි.
දැන් දැන් පොඩි එකා තේරෙන වයසට ලං වෙමින් හිටියේ. අත්තම්මා ලඟට එනකොට සිතුම් අවුරුදු දෙක සම්පූර්ණ කළා විතරයි.
_____________________________
එදා නිවාඩු දවසක් සුද්දත් එක්ක හිතේ හැටියට සෙල්ලම් කරලා උඩහා ඇලෙන් නා ගෙන ඉවර වෙද්දී දෙන්නටම හොඳ බඩ ගින්න.
“සුද්දා යන් අපෙහට අත්තම්මා උයලා ඇති ගිහින් කමු”
සිතුම් සුද්දට කතා කරා දෙන්නත් එක්ක කන්න යන්න.
“අපෝ අර මූසලී මට ඔරවයි රන් මහත්තයා”
ඒ කිව්වේ සිතුම්ගෙ නැන්දා මාලි ගැන, ගෑනිට පොඩි උන් දෙන්නව දකිද්දි ඇහැට කටු අනිනවා වගේ.
සුද්දා ගෙදර ගියාට පස්සෙ කොල්ලා හිමීට ගේ පැත්තට ආවා. අත්තම්මා කා එක්කද හරි සද්දෙන් කතාවක්.
“අම්මා.. මේ වෙලේ මට කරන්න තියෙන්නේ ඔච්චරයි”
කාගෙද ඒ කටහඬ සිතුම් හිමීට බිත්ති කොනෙන් ඔළුව දාලා බැලුවා. (ලබන සතියට)
_____________________________
අමා සිල්වා | සිත්තම් මායා
Comment with Facebook