Ads Top

පිරිමි ලංසුවක් - 05 කොටස

බස් එක තවත් බස් එකක් සමඟ එකම වේගෙට එකකට එකක් ඉස්සර කර ගන්න හදන්නේ පාරේ ඉන්න මගීන් ටික බෙදාගන්න ඔට්ටු වෙමින්. 

“කොටුව, කොටුව, පිට කොටුව, නුගේගොඩ, අවිස්සාවේල්ල”

තොරතෝංචියක් නැති කොන්දොස්තරගෙ බෙලෙක් කට දිහා කොල්ලා තවත් පුදුම වෙලා බලන් හිටියා. ජීවිතේ පළමු වතාවට මෙච්චර දුරක් බස් එකක එන, කොළඹ දෑහැට දැකලා තිබුණේ නැති පොඩි එකාට කොළඹ මොන වගේද බලන කුතුහලෙත් තිබුණා. 

“වත්තල පල්ලිය හන්දිය බහින අය ඉස්සරහට ඉස්සරහට”

වත්තල නගරයට කිට්ටු වෙද්දී කොන්දොස්තරගෙ කෑ ගැහිල්ලට සිතුම්වත් ඉස්සර කරගත් සුනිල් බසයේ ඉදිරිපසට විත් ඔළුව පාත් කර බැලුවේ බහින තැන හරිම තැන දැයි සනාථ කර ගන්න හිතාගෙන.

“අහ් ලොක්කා කියපු තැන මෙතන තමයි”

කොන්දොස්තර සුනිල්ට කියද්දී ඔහු සිතුම්වත් ඉස්සර කරගෙන බහින්න සූදානම් වුණා.

“කොල්ලෝ හරි මෙතන තමයි බහින්න ඕනේ”

බස් එකෙන් බැහැලා සුනිල්ගෙ පිටුපසින් පොඩි එකා ගමන් ගත්තේ නුහුරු වූ වටපිටාවේ වෙනස්කම් ඇස් දෙකින් විඳ ගනිමින්. පේන පේන හැම තැනකම කඩ සාප්පු හෝටල්, මීට කලින් මෙහෙම වටපිටාවක් පොඩි එකා දැකලා නොතිබුණු නිසා හරි උනන්දුවෙන් ඒ දේවල් බලන්න ගත්තා.

වත්තල කොළඹ පාරට මුහුණ ලා පිහිටි සුදු තීන්ත ආලේපනයෙන් දැකුම්කළු සුවිසල් නිවසක් ඉදිරිපසට පැමිණ සුනිල් නතර වුණා. සද්දන්ත ගේට්ටුවක් රාජලීලාවෙන් ඔවුන්ව පිලිගන්න මෙන් පෙර මග බලන්  හිටියා.

“පොඩි එකෝ, එඩ්වින් මහත්තයගේ ගේ මේක තමයි”

උඹේ වාසනාවට තමයි මේ වගේ තැනක නතර වෙන්න ලැබෙන්නේ.

සිතුම්ගේ තාත්තා එහෙම කිව්වේ හරියට කොල්ලට රජකම දෙන්න එක්ක ආවා වගේ.

මේ රජමාලිගා වගෙ ගෙවල් වලට වැඩිය අත්තම්මගෙ මහා ගෙදරත් සුදු වැලි පිරුණු ගෙමිදුලත් කෙතරම් නම් සැනසිලිදායකද සිතුම්ට මතක් වෙන්න ගත්තා.

ගේ ඉස්සරහා හැමදාම හවසට දැල්වෙන මැටි පහන්නෙන් එන එළිය මේ වර්ණවත් වුණු එළි වලින්  පිරිමහා ගන්න බැරි බව පොඩි එකාට හිතුණා. හවසට අත්තම්මා පත්තු කරන හඳුන්කූරු වල සුවඳ පහන් එළිය දිගේ ඈත කිරි සුදට දිලෙන හඳ එළිය හොයන් ඇදීගෙන යනවා කියලා පොඩි  එකා වෙලාවකම හිතුවේ.

ගේට්ටුවේ විදුලි සීනුව නාද කල පසු සුදු සරමකුත් මේස් බැනියමකුත් ඇදගත් කුදු ගැහුණු තලත්තෑනි පුද්ගලයෙක් පැමිණ ගේට්ටුව විවර කලා.

“එඩ්වින් මහත්තයා ඉන්නවද ගෙදර ?"

“මහත්තයා උඩ තට්ටුවේ ටෙලිෆෝන් කෝල්  එකක ඔහෙලට පල්ලෙහාට වෙලා ඉන්ඩ කිව්වා”

ඔහු උත්තර දුන්නා.

“මහන්සිත් ඇති නෙවැ ඔන්න ඔහෙට වෙලා ඉඳගෙන හිටියනම්”

ඔහු පුටු දෙකක් පෙන්වා දෙන්නට මහන්සි නිවා ගන්න ඉඩ හදා දුන්නා. සුනිල් නොයිවසිල්ලෙන් බලන් හිටියේ එඩ්වින් මහත්තයා පල්ලෙහාට එනතුරු. 

වයසක උන්දැ පෙනුමෙන් කරුණාවන්ත පුද්ගලයෙක් පාටයි. සිතුම් දිහා බලා ඔහු හීනියට සිනහවක්   පෑවා.

“පොඩි එකාට බඩ ගිනිත් ඇති මයේ හිතේ” 

“ඔහොම හිටියනම් ඩිංගක්”

ටික වේලාවකට පසු කිරි තේ දෙකකුත් එක්ක බනිස් ගෙඩි දෙක තුනක් තැබූ බන්දේසියක් රැගෙන ආ ඔහු එය දෙදෙනා ඉදිරියෙන් ගෙනත් තිබ්බේ එක බනිස් ගෙඩියක් සිතුම්ගේ අත් දෙක උඩ තියමින්.

“කාපන් කොලුවෝ”

“සෑහෙන දුරක් නෙවැ ඇවිත් තියෙන්නේ”

“අහ් සුනිල් කොහොමද ඉතින්”

එක පාරම ගැඹුරු කට හඬක් ආ දිහාවට සුනිල් ඇස් යොමු කරමින් අසුනින් නැඟී සිටියා.

“මහත්තයා”

“ඔන්න කොල්ලව කියපු දවසටම එක්ක  ආවා”

ඇස් කන්නාඩි දෙකක් පැළඳ ගත් සුදු උස මහත පුද්ගලයෙක් ඔවුන් අසලට පැමිණ තාත්තා එක්ක කතාවට වැටුණු අයුරු දැක එඩ්වින් මහත්තයා මෙයා වෙන්න ඕනේ, සිතුම්ට එහෙම හිතුණා.

“හුරතල් කොලු පැටියෙක් නේ”

එඩ්වින් මහත්තයා සිතුම් ලඟට පැමිණ ඔහුගේ හිස අත ගාමින් කියද්දි කොල්ලට ලැජ්ජත් හිතුණා.

“දවසක් දෙකක් ඉඳලා යන්න පුළුවන්නේ සුනිල්ටත්”

“පොඩි එකත් එතකොට මෙහෙට හුරු වෙයිනෙ”

“හෙට උදේම යන්න ඕනේ මහත්තයා කුඹුරු වැඩ එහෙම්මයි”

“මහත්තයට දුන්න වචනෙට බොරු කරන්න බැරි නිසා මේ තකහනියක් ගිහින් කොල්ලව එක්ක ආවේ”

සුනිල් යටහත් පහත්ව පිළිතුරු දුන්නා….. (ලබන සතියට) 

අමා සිල්වා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.