Ads Top

බොලිවුඩ් අධිරාජ්‍යයත් අපේ මනෝ රාජ්‍යයත් දෙදරවපු සුශාන්ත්ගේ මරණය

ආදරය ගැන අපි හැමදාම කතා කරපු නිසා ආදරයේ සුවිශේෂී පැතිකඩක් වෙන “පොදු මානව ආදරය” ගැන අද අපි කතා කරන්න කැමතියි. ඉතින් මේ කතාව අද පටන් ගන්නේ ලියුම්කාරිණිය විදිහට මම මීට අවුරුදු කීපයකට කලින් ලබපු අත්දැකීමක් උඩයි.

2015 වර්ෂයේදී මගේ පුවත්පත් කලා ජීවිතය පටන් ගත්තාට පස්සේ මම සේවය කරපු ආයතනය තිබ්බේ මහල් කීපයකින් සමවිත සුඛෝපභෝගී ගොඩනැගිල්ලක. ඒකේ අපේ කාර්‍යාලයට අමතරව මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ පවුලේ අනික් ව්‍යාපාරික ආයතන වලට අයත් කාර්‍යාල රැසක් ද පවත්වාගෙන ගියා. ඒ  නිසා මට මගේ වෘත්තීයමය ක්ෂේත්‍රයට සම්බන්ධ නැති විවිධ ක්ෂේත්‍ර වල මිතුරියන් රැසකුත් ආශ්‍රය කරන්න ලැබුණා. හැම කාර්‍යාලයකම හිතමිතුරු ඇසුර ගොඩක්ම ලැබුණේ ලන්ච් රූම් එකේදී නැත්නම් වොශ් රූම් එකේදී. මොකද හැමෝටම තම තමන්ගේ කාර්‍යාල වල අධික වෙහෙසකාරී පැය වලින් මිදිලා යාලුවෙක් හොයන් තම තමන්ගේ හිත මිතුරු සමාගම් පවත්වන්න, හිනා වෙන්න, විහිළු තහළු කර ගන්න වගේම කාර්‍යාලීය ආතතිය පිට කරගන්න හම්බ වෙන්නේ ඒ තැන් වලයි. එහෙම වෙලාවට අපි කතා බහ කර කර ඉද්දී මම එක දවසක් අඳුරන්නේ නැති අලුත් යුවතියක් වොශ් රූම් එකේදී දැක්කා. ඇය ඇත්තටම සුන්දරයි. ඉතාම විනීත හැසිරීමක් සහිතයි. ඒත් අමුතු ගුප්ත බවක් සහ සමාජශීලි නොමැති ගතියක් මට පේන්න තිබ්බා. අනිත් අය එක්ක වුණත් කිසිම මුහු වීමක් තිබ්බේ නෑ. මං හිතුවා ඇය කිසියම් මාන්නයකින් ඉන්න නිසා එහෙම හැසිරෙනවා වෙන්න ඇති කියලා. මොකද ඇය කලමනාකරණ අංශයේ හොඳ රැකියාවක් කරපු යුවතියක් කියලා විස්තර දැනගන්න ලැබුණා. ගොඩක් වෙලාවට ඇයව තනියෙන් මුහුණට මුහුණ මට හමු වුණ වෙලාවල් වල පවා දවසක් මම ඇය දිහා එක එල්ලේ බලලා හිනා වුණත් ඇය එහෙම ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ බිම බලන් ගියා මිසක්. මම එතනින් එහාට ඇය ගැන අවධානයක් දක්වන්න උත්සහ කළේ නෑ ඒක ඇයගේ යම් කිසි මානසික තත්ත්වයක් හෝ පෞරුෂත්වය සම්බන්ධ ගැටලුවක් වෙන්න ඇති කියලා. ඒ එක්කම ඇය ගැන නොමනාපයකුත් මගේ හිතේ ඇඳිලා තිබ්බ නිසා ඊට පස්සේ ඇයව හමු වුණත් මම කොහෙත්ම ඇය එක්ක හිනා වෙන්න ගියේ නෑ.

පසු කාලීනව මම 2018 වර්ෂයේ අවසානයේදී අදාළ ආයතනයෙන් ඉවත් වීමත් එක්ක ඇයවත් සම්පූර්ණයෙන් ම මතක නැතිව ගියා. ඊට මාස තුනකට විතර පස්සේ මම ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරද්දී එක දවසක් දැක්කා ඇයගේ මුහුණ සහිත පෝස්ටර් කීපයක නිවන් සුව පතලා ඇයගේ පැරණි ආයතනික මිතුරන් විසින් පෝස්ට් ශෙයාර් කරනවා. පස්සේ මම ක්ෂණිකව ම හොයලා බැලුවා ඒ ඇය ගැනම ද පෝස්ට් ශෙයාර් වෙන්නෙ කියලා . ඇත්තටම ඔව්... ඒ ඇය තමයි . ඇය මිය ගිහින්. හේතුව පිළිකා තත්ත්වයක් . මට එක පාරටම ඒ කම්පනය දරාගන්න බැරුව තත්ත්පර කීපයක්, අර අපි කට වහරින් කියනවා වගේ මාව ගල් ගැහුණා.

එදායි මට තේරුම් ගන්න පුලුවන් වුණේ ඇය ඉස්සර හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න උත්සහ කළේ ඇයි කියලා. ඒ වගේම අවමංගල්‍යයෙන් පසුව ඇයගේ පියාණන් විසින් ද  ඇයගේ රෝගය, ඒක නිසා ඔවුන් මානසිකව කඩන් වැටිලා හිටපු විදිහ සහ ඇය ජීවත් වෙන්න කරපු සටන ගැන ඉතාම සංවේදී සටහනක් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ලියලා තිබ්බා. ඇත්තටම ඒ දේවල් කියෙව්වාට පස්සේ මට මං ගැනම ඇති වුනේ ලොකු කලකිරීමක්. මට හිතුණා එක පාරක් හරි ඇය එක්ක බලෙන් වත් කතා කළා නම්, ඇයගේ තොරතුරු හොයන්න උත්සහ කළා නම්, ඇයගේ තත්ත්වය වටහා ගන්න එක උත්සහයක් හරි දැරුවා නම් කොච්චර වටිනවාද කියලා. සමහර විට ඇය අනික් හැමෝටම වඩා හොඳම මිතුරියක් වීමට පුලුවන්කම තිබ්බ යුවතියක් වෙන්න තිබ්බා. මම අදටත් පෞද්ගලිකවම විශ්වාස කරන කාරණයක් තමයි ඇගේ ඒ නිහඬ සහ ගුප්ත චර්‍යා රටාවන් ඇයගේ  රෝග තත්ත්වයත් එක්ක හට ගත්ත මානසික පීඩනය නිසා ඉපදුනු හැසිරීම් රටවක් කියලා. මිනිස්සු තමන්ගේ නිහඬතාවත් එක්ක හදවතින් විඳින වේදනාවන් ලෝකයෙන් සඟවා ගන්නට කොච්චර මහන්සි වෙනවාද කියලා මම තේරුම් ගත්ත, අදටත් අමතක නොවෙන සිද්ධියක් ඒ.
                                             
මට මේ සිදුවීම නැවතත් මතකයට නැගුණේ පසුගිය 14 වැනි ඉරිදා සිය දිවි නසාගැනීමෙන් මරණයට පත් වුණු සදාදරණීය බොලිවුඩ් තරුව සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණයත් සමඟයි. මේ කතා දෙක සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම අන්තිමට කියන්නම්...

සුශාන්ත්ගේ සියදිවි නසා ගැනීමට නිශ්චිතම හේතුව මොකක්ද කියලා තාමත් නිල වශයෙන් අනාවරණය කරගෙන නැතත් ඉන්දීය පුවත් සේවාවන් වලින් කියවෙන්නේ බොලිවුඩ් සිනමා කර්මාන්තයේ සමහර තිරස්චීන මිනිසුන් කීප දෙනෙක් විසින් හිතා මතා කරපු මානසික හිරිහැර හා කොන්කිරීම් නිසා ඔහු දීර්ඝ කාලීනව මානසික අවපීඩනය ට හෙවත් ඩිප්‍රෙශන් තත්ත්වයට පත් වෙලා හිටපු බවයි. සුශාන්ත්  සියදිවි හානි කරගන්න දින කීපයකට කලින් තමන්ගේ මානසික තත්ත්වය පිළිබිඹු කරමින් ඔහුගේ මියගිය මව සිහිපත් කරලා ට්විටර් සමාජ මාධ්‍යයේ අවසන් සටහනක් තබා තිබුණා. (ඔහුගේ මව මිය ගිහින් තියෙන්නේ 2002 වර්ෂයේදීයි. උසස් අධ්‍යාපනික කටයුතු වලින් පස්සේ ඔහු ටිකෙන් ටික පවුලෙන් ඈත් වෙලා ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා තියනවා) ඒ වගේම ඔහු මිය යෑමට පැය කිහිපයකට කලිනුත් ට්විටර් වල තමන්ගේ හදවතේ කැකෑරෙමින් තිබුණු හැඟීම් ගැන වක්‍රාකාරයෙන් ගම්‍ය කරවන සටහන් කීපයක් දමා ඊළඟ විනාඩි කිහිපය ඇතුළතදී ඒවා මකා දමා තිබුණා. ඊට පස්සේයි ඔහු තමන්ගේ ඇඳ ඇතිරිල්ලෙන් තොණ්ඩුව හදාගෙන ගෙල වැලලාගෙන තිබුණේ.

ඇත්තටම හිතලා බැලුවොත් සමහර උසම උස, අපිට ළඟා වෙන්න අපහසු කඳු මුදුන් වල තියෙන්නේ අපි පොළොවට වෙලා විඳින තනිකම ම තමයි. සමහර විට ඒවායේ තීවෘතාවය අපිට හිතා ගන්නවත් බැරි මට්ටමින් ඔවුන්ට දැනෙනවා. මොකද ඔවුන් කඳු මුදුනට වෙලා බැබලෙන්නේ තනියම නිසායි. විශේෂයෙන්ම සුශාන්ත්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් ගණන මිලියන 9.8 යි. ට්විටර් අනුගාමිකයන් ගණන මිලියන 1.8 යි.  නමුත් වසර කීපයක පටන් ඔහුගේ ඔලුවේ කැකෑරුන පීඩන සමය ආරම්භයේ ඉඳන් ඔහුගේ අන්තිම මොහොත වෙනකල් ඒ වේදනාවෙ අසරණ තත්ත්වය බෙදා ගන්න වත් කෙනෙක් ඉඳලා නෑ. ඉතින් ඔබට තව දුරටහ් හිතා ගන්න පුලුවන් ද ඩේටා උඩ මැවුන වර්චුවල් ලෝකයේ ඔබ වුණත් ඉන්නේ කොතනක ද කියලා?  

අවම වශයෙන් සුශාන්ත්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන් එක හොඳ මිතුරෙක් වත් හිටියා නම්  සුශාන්ත්ට ඒ ඉරණම අත් වෙන එක වළක්වාගන්න තිබ්බා. දැන් සුශාන්ත් ගිහින් ඉවරයි. ඔහුට ඒ තීරණය ගන්න තරම් සිද්ධ වුණු දේවල් ගැන ලොකු ආන්දෝලනයක් බොලිවුඩය සිසාරා හමා යනවා. ඔහුට එවැනි තීරණයක් ගන්න වෙන තත්ත්වයට පත් කරවූවන්ට හිමි ජනතා අප්‍රසාදය නොඅඩුව ලැබෙනවා. Nepotism (ඥාති සංග්‍රහය) වලින් ගොඩ නැගුණු ඉන්දීය බොලිවුඩ් අධිරාජ්‍යය අතීතයේ කවදාවත් නොවුණු විදිහට දෙදරන්න පටන් අරන්. ඒ සඳහා කංගනා රනවුත් ලබා දෙන සටනට අපේ ද ගෞරවය හිමි වෙනවා. දැන් අපි ටිකක් හිතලා බලමු ඇත්තටම මේ ප්‍රශ්නය අපිට අදාල වෙන්නේ කොහොමද සහ ඒ මරණයෙන් අපි තේරුම් ගන්න ඕනේ සත්‍යය මොකක්ද කියලා .

3 Idiots චිත්‍රපටය ඔබ නරඹලා තිබෙනවා නම් ජෝයි ලෝබෝ නමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ චරිතය දැන් ඔබ මතක් කරගන්න අවශ්‍යයි. ඔහු තමන්ගේ උත්සහයෙන් කරන්න හදපු නව නිර්මාණය ICE විදුහල් ප්‍රධානී විසින් ඉතාමත් පිලිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරපු නිසා ජෝයි ලෝබෝ "I Quit" කියලා සටහනක් තබමින් සියදිවි හානි කරගන්නවා. ජෝයිගේ මිනිය වළලන අවස්ථාවේදී අවමංගල්‍යයට සහභාගි වෙන්න ආපු I.C.E. ප්‍රධානීතුමාගේ ළඟ ඉඳන් වැස්සට තෙමෙමින් රැංචෝ (අමීර් ඛාන්)  කියනවා මෙන්න මෙහෙම දෙයක්...

“සුබ ආරංචියක් සර්... ඔබතුමා බෙිරුනා. මරණ පරීක්ෂණ වාර්තාවෙන්  ඔප්පු වුනා ජෝයි මැරුණේ බෙල්ලට ඇති වුන පීඩනය නිසා කියලා. එතකොට මේ අවුරුදු ගාණ තිස්සෙම මොළයේ තිබ්බ පීඩනය? ඒකට මොකද වෙන්නේ? ඒක ගැන වාර්තාවේ ඇත්තෙත් නෑ. මෙි ඉංජිනේරුවොත් මාර මිනිස්සු සර්. කවුරුත් මොළයේ පීඩනය චෙක් කරන්න මැෂින් එකක් හදන්නේ නෑනේ. හැදුවා නම් ඔප්පු වෙනවා මෙික සියදිවි නසා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා.”

3 idiots චිත්‍රපටයේ දී ඔය කාරණාව හරහා මතු කරන්න හදන්නේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නය වුණත් ඉන් මතු කරන “පොදු ගැටලුව” ඉතාම ප්‍රබලයි. ජීවිතය දිනන්න නම් අපිට කිසිසේත්ම අවශ්‍ය නොවන, ඒත් මේ සිස්ටම් එක විසින් හදලා දුන්න රේස් එකට අනුව අපි දුවන්න ඕනේ. ඒ නිසා හමෝම දුවනවා. සාධාරණයි. ඒත් ඒ අතරතුර රේස් එකේ පීඩනයට මුහුණ දීගන්න බැරි දුර්වලයන් හමු වුණාම ඔබ මොකක්ද කරන්නේ? අපි වටා ජීවත් වෙන මනුස්සයෙක් ගේ හදවතට දැනෙන වේදනාව සහ ඔලුවට දැනෙන පීඩනය පිළිබඳව අපි කොච්චර දුරට සංවේදී ද? අපිත් එක්ක හිනා වෙලා ඉන්න කී දෙනෙක් තම තමන්ගේ කායික හෝ මානසික වශයෙන් පෙළෙන පෞද්ගලික ගැටලු ගැන හිතමින් තාමත් ඒ විදිහට දුක හංගගෙන ඉන්නවා ඇති ද? බොරුවට හිනා වෙලා අපිත් එක්කම ඉන්නවා ඇතිද?

ඉතින් අපි ඔබට ආරධනා කරනවා වෙන කිසිම දෙයක් වෙනුවෙන් නොවුණත් අපි හැමෝම එකිනෙකාට බැඳිලා ඉන්න “මනුස්සකම” කියන බැඳීම ගැන වත් හිතලා අනෙකා වෙනුවෙන් සංවේදී වෙන්න කියලා. එහෙම උදව්වක් ඔබේ මිත්‍රයෙක් ඉල්ලුවොත් සවන් දෙන්න පුරුදු වෙන්න. නැත්නම් එහෙම තත්ත්වයක් ඔබේ අවට ඉන්න මිතුරෙකුගෙන් දැනගන්න ලැබුණොත් ඒ ගැන ඔබේ මනසේ තුන් වෙනි අවබෝධාතමක ඇස විවර කරගෙන ඒ කෙනාව තේරුම් අර ගන්න පුරුදු වෙන්න. මනුසයෙක්ට එක වචනයකින් හරි ජීව්තය පිළිබඳව බලාපොරොත්තුවක් දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද?

මේ සංවේදී ප්‍රශ්නය පිළිබඳව සමාජ මාධ්‍ය තුල කතිකාවක් ඇරඹෙද්දී සමහර යාන්ත්‍රික මිනිස්සු තමන්ගේ මතය විදිහට දක්වලා තිබ්බේ “ඩිප්‍රෙශන් කියන්නේ අහන් ඉඳලා ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන් දෙයක් නොවේය, ඒවාට විසඳුම් සපයන්නට ගියාම තමන්ටත් ඩිප්‍රෙශන් හැදෙනවාය, ඒ නිසා කවුරුහරි දුකක් කියද්දී කෙලින්ම මනෝ උපදේශකවරයෙකු වෙත යවන්න ඕනේය” වගේ ඉතාමත් හැඟීම් විරහිත පහත් විහිලු තහළුයි. පුදුම මානව හිතවාදීන් පිරිසක් ලංකාවේ ඉන්නේ.

ඇත්තටම “උපදේශනය” කියන්නේ විධිමත් හැදෑරීමක් අවශ්‍ය විෂයක් වගේම “විශාදය” හෝ “මානසික අවපීඩනය” කියන්නේ නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතු සුලබ විෂම මානසික තත්ත්වයක්. ඒ වගේ මානසික සංකූලතා සඳහා භාවිතා කරන නොයෙක් චිකිත්සක ක්‍රම අතරින් වෛද්‍ය නිර්දේශය මත උපදේශන ප්‍රතිකාර ලබා ගන්න සුදුසු වෘත්තික‍යන් සහ වෘත්තීමය ආයතන මේ වන විට රටේ පවතිනවා. ඒක පිළිගන්න ඕනේ සත්‍යයක්. නමුත් ප්‍රශ්නයකදී සියල්ලට ම කලින් ගන්න ඔනේ අති සාර්ථක පලමු පියවර ඒක නෙමෙයි. අපිට පුලුවන් වෙන්න ඕනේ එහෙම තත්ත්වයකදී ප්‍රථමයෙන්ම අනෙකාට සවන් දෙන්න. ඒකට අවශ්‍ය, ඔබට හොඳ හදවතක් සහ යහපත් සවන් දීමේ හැකියාවක් විතරයි. සියල්ල අවසානයේ වෙනත් විසඳුමක් නැත්නම් තමයි අවසන් පියවර වෙන උපදේශන කාර්‍යට ඔවුන්ව යොමු කරන්න ඕනේ. තනිවම දරන්න බැරි පීඩනයක් අවසානයේ ජීවිතය තොර කරගත්තාට පස්සේ ඒ මනුස්සයා ගැන දුක් වෙනවාට වඩා අපි නැවත හැරී බලන්න ඕනේ නේද අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ පීඩනයන් සඳහා මොන වගේ දායකත්වයක් ද අපි ලබා දීලා තියෙන්නේ කියලා?

දැන් අර කතා දෙකේම සම්බන්ධතාවය ගැන කියන්නම්. මම අදටත් විශ්වාස කරනවා පෙර කී යුවතිය ගැන මගේ පෞද්ගලික උසාවියේ නඩු අහලා තීන්දුවට එළඹෙන්න කලින් ඇයගේ හදවත ඇතුලේ දැවුනු අතිශය වේදනාකාරී අත්දැකීම පිළිබඳව පුංචි හරි අවබෝධයක් ගන්න මමත් උත්සහ කළා නම් ඇගේ මරණය සිද්ධ වෙන්න කලින් මොන යම් ආකාරයක හරි උපකා‍රයක් කරන්න පුලුවන් වුණා නම් කොච්චර වටිනවාද කියලා. මරණ වලින් පාඩමක් ඉගෙන ගන්න අපිට දැන් ඉඳන් වත් පුලුවන්. තව මනුස්සයෙක් ඒ තත්ත්වයට වැටෙන්න කලින් බේරගන්න පුලුවන්. ඒ වගේම ඔබට ඔබේ හෘද සාක්ෂිය එක්ක ගැටෙන්න සිද්ධ වෙන්න කලින් ඔබේ ජීවිතයේදී ගත්ත සතුටුදායක ම සහ හොඳම තීරණයත් ඒක වෙයි. හැමදේටම වඩා ඔබ මනුෂ්‍ය ආදරය බෙදා ගන්න පුරුදු වෙන්න. පොදු මානව ආදරයක් හදවතේ දරාගත්ත ආදරණීය මනුස්සයෙක් වෙන්න. එහෙම ළයාන්විත මිනිස්සුන්ගේ අවසන් මොහොතේදීත් හිතේ සතුටින් මැරෙන්න පුලුවන් වෙනවා.

සුශාන්ත්, ඔබට සුභ ගමන්. ඔයා දැන් අම්මා ගාවට ගිහින් සතුටින් ඇති නේද? ඇත්තටම ඔබ මාව ඇඬෙව්වා...  


🖌 තිනෙති නානායක්කාර | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.