මට අවශ්‍ය ම දේ දන්නේ ඔබයි, ඔබට අවශ්‍ය ම දේ දන්නේ මමයි
එකෝමත් එක කාලෙක.... කියලා අදත් මේ කියන්න යන්නේ සුරංගනා කතාවක් නෙමෙයි. ඔබේ ජීවිතයට ගලපගන්න පුලුවන් සරල කතාවක්. හැබැයි මේක හොඳ අවබෝධයකින් කියෙව්වාට පස්සේ ඔබට වටින ගැඹුරු ජීවන දර්ශනයක් තේරුම් ගන්න පුලුවන් වෙයි. ඒ නිසා කියවලා බලන්න.
එක්තරා ගමක ඉතාම දුප්පත් ගැමියෙක් තමන්ගේ බිරිඳ සමඟ ජීවත් වුණා. ඇයට තිබුණේ හරිම ලස්සන මොණර පිළක් වගේ දිග කේශ කළ්‍යාණයක්. කාලයත් එක්ක ඇගේ මේ කොණ්ඩයත් අඛණ්ඩව වැඩෙන්න පටන් ගත්තා. හැබැයි ඒක නිසාම ඇයට ලොකු සුන්දරත්වයක් හිමි වෙලායි තිබ්බේ. ටිකක් කල් යද්දී මේ කොණ්ඩයේ විශාලත්වය නිසාම ඒක පිළිවෙළකට තබා ගන්න ඇයට අපහසු වුණා. ඊට පස්සේ ඒ වගේ කොණ්ඩ වෙනුවෙන් ම නිර්මාණය කරපු විශාල දැති සහිත පනාවක් මිල දී ගන්න ඇයට අවශ්‍ය වුණා. ඒ නිසා නගරයට ගියාම ඒ වගේ ගැළපෙන පනාවක් අරන් එන්න කියලා ඇය සැමියාගෙන් ඉල්ලීමක් කළා.
තමන්ගේ ආදරණීය බිරිඳගේ අහිංසක ඉල්ලීම ඇහුවාම ඔහුට ලොකු කණගාටුවක් දැනුණා. මොකද ඔහුට තිබ්බ එකම ඔරලෝසුවත් ඒ වෙද්දී කැඩිලා ගිහිල්ලායි තිබ්බේ. කැඩුණු ඔරලෝසුවේ පටිය සවි කර ගන්න තරම් වත් මුදලක් ඔහු ගාව තිබ්බේ නෑ ඒ වෙද්දී. ඒ බව ඇයට ඔහු පැහැදිලි කළේ ගොඩාක් දුකින්.
ඒක ඇහුවාට පස්සේ ඇය ඇගේ ඉල්ලීම වෙනුවෙන් සැමියාට ආයි බල කළේ නෑ.
ඒත් තමන්ගේ බිරිඳගේ ආශාව ඉෂ්ට කරලා දෙන්න බැරි වුණ පසු තැවිල්ල ඔහුගේ හිත ඇතුළේ කැකෑරෙමින් තිබ්බේ. ඔහු පහුවදා රැකියාවට ගිහිල්ලා ආයි ගෙදර එන අතරමඟදී ඔරලෝසු සාප්පුවක් තියනවා දැක්කා. තමන්ගේ ඔරලෝසුව හානියට පත් වෙලා තිබ්බත් ඒකට හොඳ පෞරාණික වටිනාකමක් තිබ්බ නිසා ඔහු ඒකට ගොඩක් ආදරය කළා. ඒත් ඒක විකුණුවොත් හොඳ මිලකට දෙන්න පුලුවන් වෙයි කියලා එවෙලේ ම ක්ෂණික අදහසක් ඔහුගේ හිතට පහළ වුණා. තියන එකම ඔරලෝසුව නැති වුණාට ඊට වඩා තමන්ගේ බිරිඳගේ සතුට ගැන හිතපු ඔහු මෙච්චර කල් පරිස්සමෙන් පාවිච්චි කරපු ඔරලෝසුව ඇය වෙනුවෙන් විකුණලා දැම්මා. ඒ මුදලින් වටින පනාවක් මිලදී ගත්තා.
ඔහු සවස් වරුවේ ලස්සන ත්‍යාගයක් විදිහට ඇසුරුම් කරපු පනාව අරගෙන නිවසට ආවා. ඊට පස්සේ ගෙදරට ආපු ගමන් බිරිඳව දැකපු දර්ශනයෙන් පුදුම වුණා.
ඒ වෙද්දී ඇය ඇගේ වටිනම සුන්දරම වස්තුව වුණු කොණ්ඩය කපලා හිටියේ. හදවතින් ම ආදරය කරන්නන් තරම් එකිනෙකාගේ හදවත් ගැන අඳුනන වෙන කවුරුවත් මේ ලෝකේ නෑ... ඇය ගමට ආපු වෙළෙන්ඳෙකුට ඇගේ අතිශය සුන්දර කේශ කළ්‍යාණිය විකුණලා සැමියා වෙනුවෙන් අලුත් අත් ඔරලෝසුවක් අරන් තිබ්බා. ඊට පස්සේ ඔහු විසින් ඇයට රැගෙන ආපු පනාව ඇයට පෙන්නුවේ ගොඩක් දුකින්.
ඒ ක්ෂණයෙන්ම දෙදෙනාගේ ම ඇස්වලට කඳුළු එකවරම ගලා ආවේ ඔවුන්ගේ ක්‍රියාවන්ගේ නිෂ්ඵල භාවය නිසා නෙමෙයි. ඔවුන්ගේ ප්‍රේමයේ අන්‍යෝන්‍ය අවබෝධය කොච්චර ආදරණීය ද කියලා කාලෙකට පස්සේ එදා තේරුම් ගත්ත නිසායි. ඇය ඔහු වෙනුවෙන් කැප කිරීමක් කරද්දී , ඔහුත් ඇය වෙනුවෙන් කැප වීමක් කරලා. ඒ මොහොතේ කිසිසේත් ම ඇයට ඇගේ කොණ්ඩය අහිමි වුණ දුක වත්, ඔහුට ඔහුගේ ඔරලෝසුව අහිමි වුණ දුක වත් දැනුණේ නෑ. ඔවුන් එදා තේරුම් ගත්තා තමන්ට මේ ලෝකේ හිමි වෙන්න සුදුසුම සහ වටිනම දේ ඒ වෙද්දිත් ඔවුන් දෙදෙනාට ම මුණ ගැහිලායි තියෙන්නේ කියලා.
ඉතින්... ඇත්තටම ඔබ කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ වෙනත් කිසිවක් ම නෙමෙයි. “ආදරය” කියන්නේ ඔබ ආදරය කරන තැනැත්තාට හදවතින්ම ආදරය කිරීම හා ආදරණීය වීමයි. ඔබට අවශ්‍යම දේ දැනගන්න ඕනේ ඔබට ආදරය දෙන කෙනායි. ඒ වගේම ඔබ විසින් ආදරය දෙන කෙනාට අවශ්‍යම දේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඔබයි. ඒකෙන් කියවෙන්නේ නෑ ආදරය කරන කෙනාව සතුටු කරන්න නම් මේ ලෝකේ මිල අධිකම දේවල් , සුඛෝපභෝගී ම පහසුකම් ලබලා දෙන්න ඕනේ කියලා. කිසිසේත්ම ආදරයේ වටිනාකම මිනිස්සුන්ගේ පරිභෝජන අවශ්‍යතාවයන් මත තියලා තීරණය කරන්න බෑ.
ඒත් ඔබට පුලුවන් නම් අසීරුම අවස්ථාවේදී වුණත් අනෙකාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඔබේ අවශ්‍යතාවයන් පරිත්‍යාග කරන්න, අවශ්‍යතාවය මොකක්ද කියලා වචන වලින් නොකිව්වට තේරුම් ගන්න පුලුවන් නම් අන්න එතනයි ආදරය තියෙන්නේ. එතනට භෞතික ද්‍රව්‍යන් ම ගළපගන්න ඕනේ නෑ. චිත්තවේගී අවශ්‍යතා වලට තමයි මූලිකම අවධානය දෙන්න ඕනේ. තමන් ආදරය කරන මනුස්සයාගේ මානසිකත්වය, හැඟීම්, දැනීම්, වේදනාවන් අවබෝධ කරගන්න ඔබට වෙනම මුදලක් වැය වෙන්නෙත් නෑ.
ඒ නිසා ආදරයට බරපතළ තේරුම් හොය හොය ඉන්නේ නැතුව ඒ වගේ සරල තැනකින් ආරම්භය අරන් ආදරණීය මනුෂ්‍යයෙක් වෙන්න පටන් ගන්න කියලා සිත්තම් මායා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.
ඒත් පෙරලා ලැබෙන දේවල් ගැන හිත හිතාම ආදරය කරන්න ලෑස්ති වෙන්න එපා. ප්රතිලාභ බලාපොරොත්තු වෙනවා වෙනුවට ඔබ හෘදසාක්ෂියට එකඟව හොඳ මනුස්සයෙක් කියන හැඟීම ඔබට ම දැනෙන්න ආදරය කරන්න බැරි ද? උත්සහ කරලා බලන්න. ඔබේ හදවතේ සාමය වෙනුවෙන් ඔබටත් සුදුසු ම දේ එතකොට නිරායාසයෙන්ම ලැබෙයි.
Comment with Facebook