දූපතේ අතරමං වුණු ආදරයේ කතාව !
කතානදර අහන්න අපි චූටි කාලේ ඉඳන් කැමතියි නේ. ඉස්සර ආච්චිලා සීයලා අපිව ළඟට අරන් තුරුළු කරගෙන කතන්දර කියලා දීපු අතීතය එක්ක අපි හැමෝටම ලස්සන නොස්ටැල්ජියානු මතක ගොන්නක් තියනවා. ඒ නිසා අද සිත්තම් මායා ලිපිය පටන් ගන්න කලින් ලියුමකාරිණියත් ඔබට පුංචි කතාවක් කියන්නම්. කියවලා බලන්න.
එක දවසක සියලුම අපේ හදවතේ ඇති වෙන හැඟීම් එහෙමත් නැත්නම් මනෝ භාවයන් නිවාඩුවක් ගත කරන්න හරිම සුන්දර වෙරළබඩ දූපතකට ගියා. එයාලගේ ස්වභාවය හරිම නිවුණු ස්වරූපයෙන් තිබ්බ නිසා දූපතේදී හැම කෙනෙකුටම හොඳ කාලයක්, හොඳ විවේකයක් ගත කරන්න පුලුවන් වුණා. හදිසියේම ඉදිරියේදී ඇති වෙන්න පුලුවන් කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් වුණු නිසා දිවයිනෙන් ඉවත් වෙන්න කියලා සියලු දෙනාටම උපදෙස් ලැබුණා.
මේ හදිසි නිවේදනය හැමෝගේම කලබලයට හේතු වුණා. හැමෝම පුලුවන් තරම් ඉක්මනින් බෝට්ටු වලට දුවලා ගියා. හානියට පත් වුණු බෝට්ටු පවා ඉක්මනින් අලුත්වැඩියා කරලා රාජකාරියට යොදවන්න වුණා.
ඒත් “ආදරය” අනිත් අය වගේ දූපතින් ඉක්මනින් පලා යන්න කැමැති වුනේ නෑ. මොකද එයාට කරන්න ගොඩක් දේවල් තිබුණා. නමුත් ටික ටික දූපත අවට අහසේ වලාකුළු අඳුරු වෙන්න පටන් ගත්තාම “ආදරය” තේරුම් ගත්තා දැන් ඉවත් වෙලා යන්න කාලය හරි කියලා. අනේ... ඒ වෙද්දී කිසිම බෝට්ටුවක් ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒත් “ආදරය” බලාපොරොත්තු පිරුණු ඇස් වලින් වට පිට බලන්න පටන් ගත්තා.
එක පාරට ම “ආදරය” දැක්කා “සමෘද්ධිය” සුඛෝපභෝගී බෝට්ටුවක නැඟලා ගමන් කරනවා. “සමෘද්ධිය, කරුණාකරලා මාව ඔයාගේ බෝට්ටුවේ අරන් යන්න පුලුවන් ද?” කියලා “ආදරය” කෑ ගැහුවා. එතකොට “සමෘද්ධිය” මෙහෙම කිව්වා.
“නෑ... මගේ බෝට්ටුව වටිනා දේපළ, රන් හා රිදී වලින් පිරීලා තියනවා. ඔයාට දෙන්න ඉඩ මදි. ”
ටික වේලාවකට පස්සේ “වැදගත්කම” ලස්සන බෝට්ටුවක නැඟලා යනවා දැක්කා. නැවතත් ආදරය කෑගැසුවා, “වැදගත්කම, ඔයාට පුලුවන් ද මට උදව් කරන්න? මම අතරමං වෙලා ඉන්නේ. උදව් අවශ්‍යයි. කරුණාකරලා මාව ඔයාත් එක්ක රැගෙන යන්න. ”
ඒත් එයා උඩඟු ලෙස පිළිතුරු දුන්නේ මෙහෙමයි. “බැහැ, මට ඔයාව මාං එක්ක අරන් යන්න බෑ. මගේ බෝට්ටුව ඔයාගේ මඩ සහිත කකුල් වලින් අපවිත්‍ර වෙයි ”.
ටික වෙලාවකට පස්සේ “ශෝකය” එතනින් යනවා දැක්කා. නැවතත් ආදරය උදව් ඉල්ලුවා. ඒත් ඒකෙනුත් ඵලක් වුණේ නෑ. ශෝකය කිව්වේ “බැහැ, මට ඔයාව මාත් එක්ක එක්කන් යන්න බෑ. මට ගොඩක් දුකයි. මට තනියම ඉන්න ඕනේ. ” කියලායි.
මිනිත්තු කිහිපයකට පස්සේ “සතුට” බෝට්ටුවක නැඟලා ඒ අසලින් යනවා දැක්කා. ආදරය නැවතත් උපකාර ඉල්ලුවා. ඒත් “සතුට” කොච්චර ප්‍රීතියකින් උද්දාමයට පත් වෙලා ද හිටියේ කියනවා නම් එයා අවට වෙන දේවල් දැක්කේ වත් නෑ. කිසි කෙනෙක් ගැන ඒ තරම් තැකීමක් කළේත් නෑ.
ඒත් එක්කම “ආදරය” නොසන්සුන්කමත් එක්ක අධෛර්යයට පත්වෙමින් හිටියේ. ඒත් ඒ මොහොතේ කවුරුහරි කෑගැසුවා, “ආදරේ... ටක්ගාලා එන්න, මම ඔයාව මාත් එක්ක අරන් යන්නම්” කියලා. ඒ තරම් උතුම් උදව්වක් මේ වගේ වෙලාවක කරන්නේ කවුද කියලා “ආදරය” ට හරියට ම අඳුනගන්න බැරි වුණත් එයා ඒ බෝට්ටුවට ඉක්මණින්ම පැන්නේ ආරක්ෂිත ස්ථානයකට ලඟා වෙන්න පුළුවන් වෙයි කියන හැඟීම නිසායි.
හෙමින් හෙමින් ආරක්ෂිත තොටුපළකට බෝට්ටුවෙන් ආදරයව අරන් ආවා. එතනින් බැහැලා ගොඩබිමට යන්න සුදානම් වෙනකොට ආදරයට “දැනුම” හම්බ වුණා. තමන්ට උදව් කළේ කවුද කියන ප්‍රහේලිකාව ආදරයට විසඳගන්න බැරි වුණ නිසා එයා දැනුමෙන් මෙහෙම ඇහුවා. “දැනුම, වෙන කිසිම කෙනෙක් උදව් කිරීමට අකමැති වූණු වෙලාවේ මේ තරම් ත්‍යාගශීලී වෙලා මට උදව් කරන්න ඉදිරිපත් වුණේ කවුද කියලා ඔයා දන්නවාද?”
දැනුම සිනාසෙමින් මෙහෙම කිව්වා.
“අයියෝ අනේ... ඒ වෙන කවුරුවත් නෙමෙයි. කාලයයි.”
ඒක ඇහුවාම ආදරයට පුදුම හිතුණා. “ඉතින් මාව තෝරාගෙන මාව ආරක්ෂිත ස්ථානයකට අරන් යන්න කාලය නතර වුණේ ඇයි?”
“දැනුම” ගැඹුරු ප්‍රඥාසහගත සිනහවකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආදරයට මෙහෙම කිව්වා. “මොකද ඔයාගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය සහ ඔයාට කරන්න පුලුවන් දේවල් දන්නේ කාලය විතරයි. මොකද මේ ලෝකයට සාමය හා සතුට ලබා දෙන්න පුලුවන් ආදරයට විතරයි. ”
“වැදගත් ම පණිවිඩය මොකක්ද දන්නවාද? අපි සමෘද්ධිමත් වෙනකොට අපි ආදරය නොසලකා හරිනවා. අපි වැදගත් කියලා හැඟෙනකොට අපිට ආදරය අමතක වෙනවා. අධික සතුටින් හා ශෝකයෙන් ඉන්නකොට පවා අපිට ආදරය අමතක වෙනවා. ප්‍රේමයේ වැදගත්කම අපට වැටහෙන්නේ කාලයත් එක්ක විතරයි. ඉතින් ඇයි ඒ තරම් කාලයක් බලන් ඉන්නේ ? “ආදරය” ඔයාගේ වර්තමාන ජීවිතයේ කොටසක් කර ගන්නේ නැත්තේ ඇයි?”
මේ කතාව කියෙව්වාම ඔබට මොකද හිතුණේ? ලියුම්කාරිණිය පෞද්ගලිකව ම විශ්වාස කරනවා ලස්සන අයිඩියෝලොජි එකක් මේ කතාව ඇතුළෙ ගලාගෙන යනවා කියලා. මේ කතා කරන්නේ අපේ හදවතේ ඇති වෙන හැඟීම් ගැන. සමහර වෙලාවට අපි ආදරය කරන්න ගියාම අනිවාර්‍යෙන්ම අපි අපේම දූපතක අතරමං වෙන අවස්ථාවක් එනවා. ඒ වෙලාවට අපේ ප්‍රශ්නයට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බැරි වෙනවා. සමහරවිට ආදරේ නිසාම ඉවසා දරාගෙන ඉන්න ගිහින් අන්තිමේදී ගැලවීමක් නැතුව පිහිටක් හොයනකොට අපිට තෝර ගන්න කිසිම මාර්ගයක් වත් ඉතුරු වෙලා නොතිබෙන්න පුලුවන්. ඒ වගේ අවථාවක දී තමන් කොච්චර අසරණ වෙනවාද කියලා දැනෙන්නේ ආදරය කරලා හිත් රිද්දවගත්ත මිනිස්සු විතරයි. හැබැයි එහෙමයි කියලා අපි අපේ ජීවිත වලින් ආදරය අතුගාලා දාන්න තරම් අන්තගාමී වෙන්න අවශ්‍ය නෑ. අම්මාගේ යෝනියෙන් උපත ලබමින් අපි ජීව විද්‍යාත්මකව මනුස්සයෙක් බවට පත් වුණත්, අපිට යහපත් සංස්කෘතික මනුස්සයෙක් වෙලා ඉතුරු ජීවත කාලයම සතුටින් ගත කරන්න පුලුවන් වෙන්නේ ආදරය පිරුණු හදවතක් තිබ්බොත් විතරයි. නැතුව මුදල් වලින් සමෘද්ධිමත්, කීර්තියෙන් බැබළෙන වැදගත් ජීවිතයක් තුළින් වත් අධික සතුටෙන් හෝ අධික දුකින් පිරුණු ජීවිතයක් තුළින් වත් බෑ ඔබේ ආරක්ෂිත තොටුපොළ හොයාගන්න. ඔබ ඒ වගේ ජීවිතයක් ගෙවලා මැරෙන්න බලාපොරොත්තු වෙනවා නම් අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ හිස් කමක් විතරයි .
ඉතින්, ලියුම්කාරිණියට ඔබට කියන්න අවශ්‍ය වුණේ ඔබට ආදරය නිසා වේදනාවක් දැනෙනවා නම් ගැටළුව තියෙන්නේ “ආදරය” කියන සංකල්පයේ නෙමෙයි. ඔබේ හෝ ඔබ ආදරය ලබා දුන්න පුද්ගලයාගේ “පුද්ගලභාවය” ඇතුළෙයි. ඒක ආදරය පිටින් යවන එක තමන්ගේ අසාර්ථකත්වය වහගන්න මිනිස්සු කරන යොදන හොඳ උපක්‍රමයක්.
ගැටළුවට උත්තර හොයාගන්න ඕනේ නම් ඒකට ලොකු ආයාසයක් දරන්න එපා. ඔබේ මනසේ කැළඹිලි ස්වභාවය පහ වෙලා යනකල් සන්සුන් වෙන්න. කාලයට ඔබව අරන් යන්න ඉඩ දෙන්න. ඒ අතරතුර ආදරයට ඔබේ හදවතින් බැහැලා යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න. ආදරය තුළ පවතින්න. එතකොට කාලය ඔබව ටිකින් ටික ඔබට ගැළපෙනම, හොඳම ආරක්ෂිත තොටුපොළට අරන් යයි.
ඒ අතරතුර අමතක කරන්නත් එපා... කතාවේදී ආදරයට ඒ දේවල් කියලා දුන්නේ ප්‍රඥාවන්ත බවින් පිරුණු “දැනුම” යි. ඒ නිසා ඔබේ ජීවිතය දැනුමින් පෝෂණය කරගන්න. ඒ හරහා ගැටලුවකදී ඔබේ මනස ප්‍රඥාවෙන් විවෘත කරගෙන හිතන්න නිතරම උත්සහ කරන්න.
ආදරය අසරණ වුණු හැම වෙලාවක ම උදව් කරන්නේ කාලය යි....
තිනෙති නානායක්කාර | සිත්තම් මායා
Comment with Facebook