Ads Top

පිරිමි ලංසුවක් - 09 කොටස



ආදරණීය අනුරාධා…. 
දූවිලි කුණාටු අහවරව 
මෝසමත් අවසන්ව තිබුණොත් හනික 
සීතල සුළඟක් හමා එන දවසක 
නුඹ එනතුරු 
මගෙ මැණික
මග බලන් 
මං ඉන්නම් හවසක
පාට පින්සලෙන් විසිරිච්ච
පාට සිතුවිලි ගියත් අලු ව
සිත්තම් කළ නුඹේ රුව
මකා දමා මඟ 
ගියේ ඇයි නුඹ
මොහොතකට ඇවිත් 
ඉතිං කියන් මට
_______________________________
සිතුම් විජේබණ්ඩාර

අසංක එන්න සතියක් තියෙද්දි එඩ්වින්ව රෝහලෙන් නිවසට රැගෙන ඒමට විශාකා සියල්ල සූදානම් කළේ සිතුම්ගේ ද උදවු ඇතිව. එඩිවින් නිවසට පැමිණි පසු ඔහුගේ ආවතේව කටයුතු සිතුම්ගේ කර මත පැට වී තිබුණා.

සිතුම් ඒ සියල්ල ඉටු කළේ හිතේ ශ්‍රද්ධාව පෙරදැරිව බොහෝ කැමත්තෙන්. තාත්තා කෙනෙක්ගෙ ආදරයක් හරියට විඳලා තිබුණේ නැති සිතුම්ට එඩ්වින් විසින් අඩුපාඩු සොයා බලා සළකපු විදිය සිතුම්ගේ හිතේ හොඳ හැටි සටහන්ව තිබුණා. තමන්ට දැන්  ඒවාට කෙළෙහි ගුණ සැළකීමට කාලය පැමිණි ඇති බව සිතමින් සිතුම් ඒ සියලු කටයුතු ආසවෙන් සිදුකළා.

“අම්මා”

“මොකද නයෝමි? මං මේ සිතුම් එක්ක වැඩක්”

“මගෙ පර්ස් එක සාලෙන් තිබ්බා හවස දැන්  ඒක එතන නැහැ”

“හොඳට බලන්න දුව අමතක වෙලා ඇති”

විශාකා එහෙම කිව්වේ නයෝමිගෙ වැඩ ගැන තමන් හොඳට දන්න නිසා. මීට කලිනුත් බොහෝ අවස්ථාවල ඔය වගේම සිද්ධි  වෙලා තිබෙන නිසා.

“මං දන්නවා කවුද ගත්තේ කියලා”

ඇය  එක පාරම චෝදනා කරේ සිතුම් දිහා බලාගෙන.

“අපේ ගෙදර වෙන හොරු නැහැනෙ අම්මා”

“පිටින් ආව එකම හොරා ඔය අම්මා ලඟම ඉන්නේ”

“නයෝමි කට වහනවා”

“ඒ අහිංසකයට බොරු චෝදනා කරන්නැතුව”

විශාකා ඇයට සැරෙන් කතා කරේ සිතුම්ගේ හිත රිදුන බව දන්න නිසා.

සිතුම් කිසිවක් කර කියා ගත නොහැකිව බලන් හිටියේ නයෝමිගේ වචන නිසා හිතේ පිරුණු වේදනාවෙන්.

“අම්මා මං අයියා ආවට පස්සේ තීරණයක් ගන්නවා”

“පිටින් ආව උන් ලොකු කරන් අම්මා අම්මගෙ දුවව විස්වාස කරන්නෙත් නැහැ දැන්”

“තමුසේ නිසා තමයි මේ හැමදේම දැන්වත් අපිට වද නොදී යනවා”

සිතුම් ලඟට පැමිණි නයෝම් ඇගේ දබර ඇඟිල්ල කොල්ලගෙ මූණට ලංකරමින් තර්ජනය කරේ පාලනය කර ගත නොහැකි කේන්තියකින්.

“නයෝමි මං එක සැරයක් කිව්වා කට වහගන්න කියලා. යනවා මෙතනින්”

විශාකගේ වචනෙට ඇය අවනත වෙන පාටක් පෙනෙන්න තිබුණේ නැහැ.

“අයියා ආවට පස්සේ මං යනවා ආයෙත් හොස්ටල් මේ ගෙදර මං ඉන්නෑ තවත්”

ඇය ගස්සගෙන අඬ අඬා නිවස දෙසට දුවගෙන යන අයුරු දැක  විශාකා ඇයව නවත්තන්න හැදුවා.

“නයෝමි”

“මේ අහන්න දරුවෝ”

“නයෝමි”

ඇය විශාකට ඇහුම්කන් නොදී නිවස දෙසට දුවගෙන යන අයුරු සිතුම් නිරුත්තරව බලන් සිටියා.

“සිතුම් පුතේ ඔයා ඕවා ගණන් ගන්න එපා. එයාගේ හැටි එහෙම තමයි”

“කටට එන එක ඔහේ කියලා දානවා හිතන්නේ බලන්නේ නැතුව”

සිතුම් විශාකා කියු දේ පිළිගන්නාක් මෙන් ඇය දෙස බලා යන්තම් සිනාසුණා. නමුත් තමන් නොකරපු වැරද්දකට ඇය විසින් එල්ල කරපු චෝදනාවත් ඇගේ වචනත් නිසා සිතුම්ගේ පපුව වේදනාවෙන් ඇවිලෙනවා වගෙ ඔහුට දැනුණේ.

ඇස් වලට පිරෙන කඳුළු නතර කර ගන්න ඔහු තවත් පොළොවට මූණ පාත් කරගෙන බිම උදළු ගාන්න ගත්තේ විශාකාගෙන් මූණ සඟවන්න උත්සහා කරමින්.

හිතේ මහා බරක් එක්ක වෙනදා නොදැනුන තනිකමකින් පාළුවකින් සිතුම්ගේ හිත වෙලාගෙන තිබුණා..

තමන්ගේ කාලකණ්නි ජීවිතය තව දුරටත් එඩ්වින්ගෙත් විශාකගෙත් හිස මත පටවනවද, තමන් ජීවීතේ බර අතට අරන් තනියම ජීවිතේට මුහුණ දෙනවද, කියන එක සිතුම් තව දුරටත් හිතන්න ගත්තා.

එදා මහා රෑම සිතුම් කල්පනා කළා. ඉදිරි ජීවිතයට තමන් මුහුණ දිය යුතු ආකාරය  තව දුරටත් කිසිවකුත් බලාපොරොත්තු නොවී තම ජීවිතය ගොඩ නගාගෙන ඉදිරියට යන ආකාරයත් අවුරුදු දාහතක වයසක හිටි පොඩි කොල්ලගෙ ඔළුව මේ සියලු  ප්‍රශ්න වලට විසදුම් හෙවුවා.

පුංචි දවස් වල ඉර බැහගෙන යන හවස් වරුවක  අත්තම්මා සිතුම්ව ලංකරගෙන කියු කතාවක් කොල්ලගෙ මතකෙට ආවා.

“රන් මහත්තයෝ මේ ඉර අහස ඉරාගෙන උදේට පායනවා, හවසට බැහගෙන යනවා, වගේ තමයි අපේ ජීවිතේ…”

“මේ දැන් මේ ඉර හැංගුනාට හෙට උදේට ආයෙත් හරි ලස්සනට හිනාවෙනවා”

“අපේ ජීවිතෙත් ඒ වගෙ අද දුක, හෙට සතුට හැමදාම දුක තියෙන් නැහැ රන් පුතේ”

“ඒ වගේ තමයි උබටත් අනාගතේ ලස්සන දවසක් තියෙයි”

“එදාට උබේ මේ නාකි අත්තම්මව උබට මතක් වෙයි”

පහුවදා හිරු උදා වුණේ සිතුම්ගේ ජීවිතය තමන් අතට බාර ගත්තා කියන්න වගෙ හරි ආඩම්බරේකින්. සිතුම් පුරුදු විදියටම හිනා රැල්ලකින් තම මුව සරසාගෙන එඩ්වින්ගේ වැඩ කටයුතු  කරන්න ගත්තා. අසංක එන්න  තිබුණේ හරියටම තව දවස් හතරයි.

සිතුම් තම ජීවිතේ තීරණාත්මක මොහොතක සිටියේ. තමන් දැන්ම නිවසින් පිට වෙන එක එඩ්වින්ට කරන වැරද්දක් ලෙස ඔහු හිතුවා. අසංක එනතුරු සියලු දේ දරාගෙන පුරුදු විදියට  නිවසේ වැඩ ටික කරගෙන යන්න ඔහු හිතා ගත්තා.
ජිවිතේ ලොකු සැලසුමක් නොවුණත් එඩ්වින් නිවසින් පිටවෙන්න සිතුම් තදින්ම තීරණයක් ගෙන තිබුණේ තමන් නිසා එඩ්විනුත් විශාකත් මුහුණ දෙන ප්‍රශ්න වලට නිමාවක් දිය යුතු කාලය දැන් පැමිණ ඇති බව සිතමින්.  (ලබන සතියට)

අමා සිල්වා | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.