Ads Top

පිරිමි ලංසුවක් - 11 කොටස

හවස් වරුවේ හීන් හිරිකඩක් වැටෙන්න පටන් ගන්නකොටත් සිතුම් ගරාජ් එකේ ඉවර කරන්න තිබුණ වැඩ කොටසක් බාර අරගෙන කරමින් හිටියේ. කලින් හිටපු සේවකයෝ විසිදෙනාගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ සේවකයෝ පස් දෙනෙක් නිසා සිතුම් සෑහෙන  කාර්යයබහුල වුණා.


ඉහලින් ආව අසංකගේ අණ ඔවුන් රැකියාවෙන් අයින් කරන්න හේතු වුණා. තවදුරටත් ඔවුන්ට වැටුප් ගෙවීමේ අපහසුතාවය නිසා අසංක  මේ තීරණය ගත් බව සියලු දෙනාටම දන්වා සිටියා. වැඩට හිටපු කොල්ලෝ ටික නම් කිව්වේ එඩ්වින් මහත්තයා නිසා ඉවසනවා මිසක් අසංකගේ මේ ක්‍රියාකලාපයට ඔවුන් නීතිමය පැත්තෙන් ක්‍රියා කරන බවයි.


“ඕකාත් ඕකගෙ නංගි වගේම ඇති”


“උගත් කම තිබ්බට වැඩක් තියේවිද මනුස්සකම් නැතුව”


“හෙට අනිද්දා ඕකා ආවට පස්සේ මේක වහලා දාන්න වුණේ නැත්තම් උඹල මට පයින් ගහපල්ලා මං කියන්නේ බොරු නම්”


“මහත්තයා ලෙඩා වෙච්ච වෙලේ අපි කොහොමද බන් මේකට විරුද්දව වැඩ  කරන්නේ”


කීප දෙනෙක් සිතුම් ඉස්සරහා කර ගෙන ගිය කතා බහෙන් ඔවුනට  අසංක  පිලිබඳ අප්‍රසාදයක් ගොඩ නැගි ඇති බව සිතුම් තේරුම් ගත්තා.


ඊට පස්සේ ඉතින් වැඩ කොටසින් සෑහෙන ප්‍රමාණයක් පොඩි එකාගෙ කර උඩට තමයි පැටවුණේ. සිතුම් කිසිම දවසක එඩ්වින් පවුල පිලිබඳ නරකක් හිතුවේ නැහැ. පොඩි වයසකට ජිවිතේ ගොඩක් දේවල්  ඉගෙන ගත්තා නම් ඒ සියලු දේට ස්තූතිය එඩ්වින් මහත්තයා ඇතුළු ඔහුගේ පවුලට හිමි විය යුතු බව නිතරම සිතුවා.


සිතුම් ගරාජ් එක වහන්න ලං වෙද්දි  හදිස්සියෙන් වගේ  සිරිනාත සිතුම් ලඟට දුවගෙන ආවා.


“උඹ ඕක දැන්  වහන්නෙයි පොඩ්ඩෝ යන්නේ”


“ඕක ඔහොම්ම තියලා පලයන් මං වහන්නම්”

  

“නෝනා කෝල් කරලා උඹව  ඉක්මනට  එවන්න කිව්වේ”


“ඇයි සිරිනාත අයියේ හදිස්සියක්ද”


“ඒ වගේ තමා බං උඹ  පලයන්, මං ඔය ටික අස් කරලා වහලා දාන්නම්”


“අයියට පුලුවන්ද තනියම”


“මට පුලුවන් බං යමන්කෝ ඉතින් ඉක්මනට නෝනා බලන් ඇති”


එඩ්වින් මහත්තයට අමාරුවක්වත්ද කැළඹිලි සිතුවිලි හිත පුරා ඔඩු දුවද්දී  සිතුම් හනි හනිකට ගෙදරට දුවගෙන ආවා.


“නෝනා”


“මහත්තයට සනීප නැද්ද”


කොල්ලා බය වෙලා හිටියේ එඩ්වින්ට කරදරයක්වත්ද කියලා


“මහත්තයා හොදින් පුතේ”


“අපි හෙට උදේම කුරුණෑගල  යන්න ඕනේ”


“ඒ කොහෙද  නෝනා”


“සිතුම්ගේ තාත්තගෙ ගෙදර”


“ඒ මොකටද නෝනා එයාට මාව දැන් අමතකත් ඇති”


“හෙට ගිහින්ම බලමු පුතේ මොකක් නමුත් හදිස්සි කාරනයක් නිසානේ එන්න කියලා පණිවිඩ එවන්න ඇත්තේ”


“එතකොට මහත්තයා බලන්නේ කවුද නෝනා”


“සිරිනාත මහත්තයව බලා ගනී සිතුම් හෙට දවස විතරනේ”


“නෝනා, මං තාත්තගෙ ගමෙන් අත්තම්මා ලඟට ගෙනත් දාද්දි  හරියටම අවුරුදු දෙකයි. තාත්තා ඊට පස්සේ මාව බලන්න ආවේ නැහැනේ නෝනා. මහත්තයගෙන් සල්ලි අරන් ගියා විතරයිනේ, මගෙ එහෙ කවුරුත් නැහැ නෝනා”


“මං එහෙ යන්නම ඕනෙද නෝනා”


අනිතිම පාරට හරි අසරණකමකින් විශාකගෙ මූණ දිහා බලාගෙන සිතුම් ඇහුවා.


“සිතුම් කලබල වෙන්න එපා පුතේ, ජිවිතේ කියන්නේ ප්‍රශ්න වැලක් අපි ඒවට මූණ දෙන්න ඕනේ. අපි හෙට ගිහින්ම බලමු”


“ඇයි නෝනා මොකද වෙලා තියෙන්නේ”


“සිතුම් හෙට ලෑස්ති වෙන්නකෝ යන්න”


සිතුම්ගෙ හිතේ ඇයගෙන් අසා දැන ගන්න ප්‍රස්න වැලක් තිබුනත් ඔහු ඒවා හිතේම තද කර ගත්තා.


පහුවදා උදෑසනම විශාකා සිතුම්වත් කැටිව සිය නිවසේ රියදුරු අරියපාල සමඟ කුරුණෑගල බලා පිටත් වුණා.


විශාකාගේ අතේ ලිපිනය ලියූ කොල කැබැල්ල බලමින්  අරියපාල හරි තැන හොයා ගන්න වෙහසුනා.


“අරියපාල පොඩ්ඩක් ඔහොම නවතින්න”


“අර සුදු කොඩි ඇදලා තියෙන ගෙදර”


“අන්න හරි ඒ ඉස්සරහට ගන්න වාහනේ”


සිතුම් ඒ කතාවත් සමඟ විශාකා පෙන්නපු නිවස දෙස බැලුවා. ඔහුගේ පපුව ගැහෙන්න ගත්තේ ලඟම තිබ්බ ගහේ අලවලා තිබුණ මරණ දැන්වීම දැක්කට පස්සේ අවුරුදු ගාණක් හැංගිලා තිබ්බ සෙනෙහස ලේ බිත්ති පුපුරලා දෙදරලා ගියා.


“තාත්තේ”


හයියෙන් කෑ ගහගෙන අඬාගෙන වාහනෙන් එළියට පැන්න විදියට විශාකටවත් ඔහුව නතර කරන්න බැරි වුණා.


(ලබන සතියට.... )


අමා සිල්වා | සිත්තම් මායා


Siththam Maya | Anu Perera. Powered by Blogger.